18 March 2012

දේශ ද්‍රෝහියා මා දෙස බලා සිටී!

ගොඩක් දවසකට පස්සේ කවියට පොඩ්ඩක් සමු දීල වෙන දෙයක් ලියන්න කියල හිතුවෙ.සමුදීල කිව්වට මේ ලියන්න යන්නෙත් මට කියවන්න ලැබුණු කවි පොතක් ගැනම තමයි .
ඇත්තම කියවනවානම් මේක මට කියවන්න ලැබුණු ආන්දෝලනාත්මක කවි පොතක්.පොතේ නම තමයි “මාතෘකාවක් නැති මාතෘ භුමිය හෙවත් දෙමළ කවි “.කතෘ තමයි මංජුල වෙඩිවර්ධන .

කලාකරුවෙක් කියන්නේ සිංහලයෙක්වත් දෙමළෙක් වත් නෙමෙයි ඔහු සංවේදී මනුෂ්‍යයෙක් කියන අදහස මේ පොත පුරාවටම විහිදෙනව.මේ පොත ලියල තියෙනේ ද්‍රවිඩ දෘෂ්ටියකින් කියල කිව්වොත් මම නිවැරදියි.යුධ ජයග්‍රහණයෙන් පස්සේ අපි ජයගොස නැගුවා මිස දෙමළ මිනිස්සුන්ගේ දුක මොකක්ද කියන එක අමතක කරලා දැම්ම.කොටින්ම ඔව්න් මිනිස්සු කියන දේත් අපි අමතක කරල.ජයග්‍රාහී මානසිකත්වයෙන් සියලුම ද්‍රවිඩ මිනිස්සු දිහා අප්‍රිය බැල්මක් හෙලන්න තරම් අපි කුහක වෙලා.ඇත්තටම කිව්වොත් හැම දෙමළ මිනිහෙක්ම කොටියෙක් කියල කියන තැනටම අපි පත්වෙලා.ඉතින් මේ වාතාවරණය ඇතුලේ යුද්ධයෙන් දිනුවේ කව්ද??මේ කතාව දෙමළ කවි පොත පුරාවටම විහිදිලා තියෙනව.
        මෙන්න මේ මානසිකත්වය නිසාම සාමාන්‍ය ද්‍රවිඩ මිනිස්සු මුහුණ දුන්න අතිශය සංවේදී සිද්ධි ගොන්නක් මේ කවි වල නිමිති ලෙස දක්වල තියෙනව.
             “මඩකලපුව සිත්තන්ඩියේ දිගිලිවෙෛඩ රජයේ පාසලේ පහ වසරේ ඉගෙනුම ලැබූ දැරියක්,සෙබළුන් තිදෙනෙකු විසින් දුෂණය කරන ලදී.ඊට විරෝධය පෑ ගම් වැසියෙකුගේ මළ සිරුර පසුදා එහි පොකුණක තිබී හමුවිය"
                (44 පිට - සිත්තන්ඩි කඳුළු )

ත්‍රස්තවාදීන් විසින් සිදුකරන අපරාධ වලට වැරදි කරුවෝ නම් සියලු දෙමළ  මිනිසුන්ද?ඔව්නට යුක්තියකට ඉඩක් නැද්ද?ඔවුන් මනුෂ්‍යයෝ නොවේද?
මේ කවි පුරාවටම ඇත්තේ ඔවුන්ගේ අසරණකම නොවේද?
          
            මෙහි පසු ග්‍රන්ථයේ සඳහන් එක් කවියක් පෞද්ගලිකව මාව අතිශය සංවේදී කිරීමට සමත් උණා.
                                                   මම ලිඟුමාල වෙමි
සටහන - පොලිස් පාදඩයන් දස දෙනෙකු විසින් දුෂණය කරනු ලැබ අවසාන යෝනිය තුලට අත්බෝම්බයක් දමා පුපුරවාහැර අමානුෂිකලෙස මරා දැමු කොනේශ්වරී අම්පාරේ විසු තෙදරු මවකි.මෙම සිද්ධිය වුයේ 1996 ජුනි මාසයේදීය .එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිත වලට අද මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකය.

අතගසාගෙන  නළලත
වෙසක් සඳ වැළපෙයි
ජනේලෙන් හොටු පෙරයි

ලඟපාත ගෙදරක තෙමගුල පිණිස නිම වූ
නෙලුම් මල් සත  තවම පරවී නැත .

පන්සීය පනස් ජාතක  එක්පතට සින්දා තැනු
නුතන වි-ජාතකයක විරිඳු සුරල් රාවය
විටින් විට තොරණකින්
ඈතින් ඇසේ.

මා ඉදිරියේ හිස්ම හිස්  කඩදාසියකි
කවියක් පිණිස ඇහැරී බලා ඉන්නා

එකෙණෙහිම 
පියඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියේ පතිතව
යෝනියක හැඩතල මවයි.
නිසැකවම ඒ කොනේශ්වරීගේ  විය යුතුය.

අම්පාර සිට කොළඹට
පියඹා එන්නට
මේ හැටි කාලයක්?

ඒ තරම් අපි ඈතය
දෑස කඳුලින් සීතය.

කඳුළු අතරින් මම
අංගුලිමාල නොව  ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනවැසිය  ඕනෑ පුරුෂ නිමිතිය.

බතින් වමතින්ගත් මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත් තියුණු සැතකින් යුතුවද
නික්මෙමි.

මග දිගට හමුවන ගෙයින් ගෙට සන් කොට
සෑම සිංහල ලිඟුවම කපා හුයකින් අමුණමි
අවසානයේ මගෙත්
ආහ්…..

වේදනා දරා ගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.

නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කල හැක.

සහෝදර සිත් නැති ,හැගුම් නැති
ජාතියක් කුමටද?

මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
ඒ මත ලේ පැල්ලමකි
එය කවියකි
එත් එය දෙමලෙනි
සිහළුනට නොතේරෙන්නේ  එබැවිනි!
  
වරද සිහළුන්ගේද, දෙමළුන්ගේද මම නොදනිමි.නමුත් කොහේ හෝ වරදක් ඇත.එය තවම නිවැරදි වී නැත.සුපිරි පැලැන්තියේ ජීවත් වන දෙමළුන් හැර අනෙක් සියළුම දෙමළුන් අපිට බොහෝ ඈතය.සත්‍යය එය යැයි මට සිතේ.
                           අවසාන වශයෙන් මේ සම්බන්දව සංවේදී වන අතලොස්සක් සිංහලයන්ද දේශද්‍රෝහීන් කර ඇති බව පොතේ පසුවදනින් පිළිබිඹු වේ


“සිංහලයන්ගේ කොදෙව්වේ ,අනෙකාටද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සෑම විටම සමාන යැයි කියූ වරදට දේශ හිතෙයිශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටී”
     ඉන්දික උඩුගම්පොළ-පසුවදන





ප.ළි- පොත ගැන විස්තර කිව්වේ නෑනේ
පොත සූර්ය ප්‍රකාශනයක්  මිල රු.200යි.
          
            


අරුණැල්ල  බ්ලොගය ලියන අපේ නජාත් සහෝදරයාගේ නිර්මාණයට  ලයික් 1 ක් දාගෙනම යන්න!