26 September 2012

වන්දනාව!


සාහිත්‍ය මාසේ ගොඩක් දෙනා පොත් පත් එක්ක හිටපු බව බ්ලොග් පොස්ට් කියෙව්වම දැනුණ.හැමෝම පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සහ හොඳ පොත් මිතුරන් ගැන ලියල තිබුණ.
            කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න අපිත්(රැන්ගෝ සහ මම) ගියා.ප්‍රදර්ශනය පටන්ගත්තු දවසෙම.එතරම් සෙනග හිටියේ නම් නෑ එදා.අපි යනකොටත් සමහර පොත් සාප්පු වලට පොත් දානව.ඒත් පොත් තෝරා ගැනීමට අවශ්‍ය නිදහස නම් එදා තිබුණ.
      ප්‍රදර්ශන ශාලාවට ඇතුල් වුණු අපි පොත් ගැනීම පටන් ගත්තේ කාව්‍යක්කාර මිතුරන් මගින් පවත්වපු පොත් එකතුවෙන්(කැටපත් පවුර ලංගම තිබුණ ප්‍රදර්ශන කුටිය).ගිය පාරත් ඒක තිබුනේ එතනමයි.හා හා පුරා කියල ගත්ත මුල්ම පොත උනේ 2010 වසරේ හොඳම කාව්‍ය කෘතිය විදියට රාජ්‍ය සම්මාන දිනාගත්තු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ හිරුත් හිම පියල්ලක කියන කාව්‍ය සංග්‍රහය

මහින්ද අයියත් ඒ ප්‍රදර්ශන කුටියේම හිටපු නිසා ඔහුගේ සමරුවෙන් ඒ පොතේ වටිනාකම වැඩි උනා.
                 එතනදීම අපිට මුණගැහුණා සඳුන් අයිය.11 වන පැය කාව්‍ය සංග්‍රහයේ ප්‍රධාන නියමුවෙක් කිව්වොත් හරි.ප්‍රදර්ශන භුමිය අපිට නුහුරු තැනක් බවට පත් නොකරන්න සඳුන් අයිය සහ පිරිස වග බලාගත්ත.සැහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුණා.අපි වැඩිම වෙලාවක් ගත කලේ සයුරි ප්‍රදර්ශන කුටියේවෙන්න ඇති.පොත්  මිලදී ගැනීමටත් වඩා එතැනදී අඳුරගත්තු පිරිස වටිනවා කියන එකයි මගේ හැඟීම.
                                           මහගමසේකරයන්ගේ කවි පොත් සියල්ලම කියවා තිබුණත් පොත් එකතුවක ඔහුගේ පොත් කීපය තිබිය යුතුමයි කියල හිතුන නිසා ඔහුගේ කවි පොහ ටිකත් ගත්ත.ඒ වගේම නන්දන වීරසිංහයන්ගේ සත්‍යකාම නම් වෙමි කියන ආඛ්‍යාන කාව්‍ය මම ගොඩක් කියවන්න ආසාවෙන් හිටපු පොතක්.ඒ වගේම ගිංගගේ විලාපය කියන පොතත් ගත්ත.
                                    අපේ බ්ලොග්කරුවන් විසින් සංවිධානය කරපු සයිබර් සිහින උළෙල කට්ටියට මතක ඇති.එකේදී මට පොඩි තරඟ ජයග්‍රහණයක් ලැබිල හම්බු උන තෑග්ගෙන් මම වටිනා පොතක් ගත්ත.මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මම ගත්ත හොඳම පොත මේක කියල මට හිතෙනවා.මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද ඔහුගේ ස්වකීය අත්දැකීම් ඇතුලත් "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කියන කෘතිය මම මිලදී ගත්ත.
     තවත් පොත් ගණනාවකට ඇහැ යොමු උණත් තාම පරපෝෂිත වන අපට සල්ලි තමයි ප්‍රශ්නේ.මොනවා කරන්නද කියල හිත හදාගෙන ආව.
            මේ පාර වෙනස් තේමාවකින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කරලා තිබුණ බවක් පෙනුන.ගුරු ගෙදර වගේ සංකල්ප  තුලින් පොත් ගන්න එන අයට සැහෙන්න සේවාවක් වුණා.
                     දෙවැනි වතාවටත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියත් ඒ නම් ගියේ පොත් ගන්න නෙමෙයි.ටිකක පරක්කු වෙලා ගියපු නිසා දයානන්ද අයියත්(අස්වැන්න) මඟ අරුනා.එදා නන්දන වීරසිංහයන්ගේ වටිනා දේශනයකට සවන් දීල පොත් එළිදැක්වීමේ උත්සවයකින් සංග්‍රහයකුත් බුක්ති විඳලම ආව!
මගේ  නම් අදහස ප්‍රදර්ශන භුමිය තුල වටිනා වෙනස්කම් කරලා තිබුණට පාඨකයා මෙන්ම සුළු පරිමාණ පොත් ප්‍රකාශකයෝ ගැනත් හිතල තිබුණ මදි කියල.පොත් ප්‍රකාශන සමාගමෙන්ම ඒ පොතට දෙන්නේ 20% ක වට්ටමක්.ඒක 30%ක් වත් කරා නම් වටිනවා.අඩුම ගානේ දුර ඉඳන් එන අයගේ බස් ගාස්තු වලට වත් සරිලන විදියට.ඒ වගේම ප්‍රදර්ශන කුටි වල ගාණත් පහුගිය වර්ෂ වලට සාපේක්ෂව ඉතා වැඩි බවයි දැනගන්න ලැබුනේ.
කොහොම  උණත් වඩා සංවිධානාත්මකව ඊළඟ වසරේ පොත් ප්‍රදර්ශනය පවත්වනන් කටයුතු කරනවානම් දුර බැහැර ඉඳන් පොත් ගන්න එන අයට වගේම සාහිත්‍යට ලැදි හැමදෙනාටම සේවයක් වේවි!

 

11 September 2012

11 වන පැය සහ මම!

                 11 වන පැය ගැන බ්ලොග් ලියන හැම දෙනාම දන්නවා ඇතැයි සිතනවා.11 වන පැය කියන්නේ සාමුහික කාව්‍ය සංග්‍රහයක්.කවි කිවිඳියන් 500 කගේ නිර්මාණ ඇතුලත් ග්‍රන්ථයක්.රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ,ආරියවංශ රණවීර වැනි ප්‍රවීන කවීන්ගේත්,නව පරපුරේ කවි කිවිඳියන් ගේත්,නිර්මාණ මෙයට ඇතුලත්ව තිබුණා.
                 බ්ලොග් කරුවන් අතරිනුත් අපි දන්නා අදුරන බොහෝ පිරිසකගේ කවි මෙයට ඇතුලත් අරුණැල්ල බ්ලොගය ලියන නජාත් සොයුරාගේ,අකීකරු හිත ලියන දිනිති අක්කගේ,ඉර ඇහැරෙන ඉසව්ව ලියන නෙරන්ජි සුලක්ඛනා අක්කගේ නිර්මාණත් මෙයට ඇතුලත්ව තිබුණා.
                 සාමුහික කවි පොතක් එළිදැක්වීම යන තේමාවෙන් එහාට ගිය පුළුල් අරමුණක් වටා 11 වෙනි පැය එක්රොක් වෙනවා.නවක පරපුරට භාෂා දැනුම ලබාදෙන භාෂා සාහිත්‍ය ඇකඩමියක් පවත්වන එක  ඔවුන්ගේ මුලික අරමුණක්.ඇත්තටම එය කාලීන අවශ්‍යතාවක්.ඉතින් ඒ සත් ක්‍රියාව සඵල කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්න කියල අපි පතමු.
               පොස්ටුව ලියන්න හිතුනේ මගේ නිර්මාණයකුත් 11 වන පැයේ ඇතුලත් උනා.මුද්‍රිත මාධ්‍යයක මගේ නිර්මාණයක් ඇතුලත් උන පළමු අවස්ථාව මේක නිසා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියල හිතුනා.




දේවිකා


උඩ බොත්තම් දෙකම ඇරුන
හැට්ටය තුලින් වරින් වර
නුඹේ දුප්පත් ලැම දකිමි මම
චතුරංගනී සේනාවකට
ජිවය පොවන්නට
hut-poor-women-child-streetකිරි තියේදෝ ඔය තනයේ?

අනෝතප්ත විල් පසුකර
දිය කෙළියට යන ගමනේ
මනරම් හිමිදිරි උදයේ
දහසක් බුදු, බුදු වෙනවා
දුටුවේ නැතිද දේවිකා?

තාර ශීට් කුඩ හෙවනට
නුඹේ මදහස අඩු නොවුණා
ඉටිකොළ අස්සෙන් ගෙට එන
පිණි බිඳු දැක
නුඹේ හීනය තෙත් නොවුණා

කැක්කුම් දෙන සීත සුළඟ
එක මිටකට අල්ලාගෙන
හැමදාමත් නුඹේ හීනය
දරුවන්ගේ මංගල්‍යය
හැමදාමත් නුඹේ හීනය
වැහි නැති හිස් අහසක් මත…


(212 වෙනි පිටුව)