06 October 2012

පොඩි කතාවක්!


……………අම්ම අරාබියට ගිහිල්ල අවරුදු දෙකක් ගෙවිල ගියත් එදා ප්‍රියන්තගේ හිත ඇතුලේ නලියපු ආශාවල් අදත් එහෙමමයි.අම්ම ගියාට පස්සේ ප්‍රියන්ත ඉස්කෝලෙත් යන්න පටන් ගත්ත.අලුත් යාළුවො ගොඩක් හම්බුණා.අම්ම යන්න කලින් ප්‍රියන්ත ලියන්න දැනගෙන හිටියේ  “අම්මා” කියල විතරයි,එත් දැන් “අම්මා ඉක්මනට ගෙදර එන්න" කියලත් ලියන්න පුළුවන්.එත් අම්මත් එක්ක වෙසක් එකට කැළණි යන්න එදා තිබුණ ආශාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
ඉහත කොටස උපුටාගත්තේ ජයතිලක කම්මැලිවීරයන්ගේ මාංචු නම් කෙටිකථා සංග්‍රහයේ එන“වරක් වැන්දොත්” කියන කෙටි කතාවෙනි.
           ප්‍රියන්ත කියන පොඩි දරුවා අසාවෙන් ඉන්නේ තමන්ගේ අම්මත් එක්ක වෙසක් දවසේ කැලණිය වඳින්න යන්න.එත් ප්‍රියන්ත ගේ අම්මත් බොහෝ දරුවන්ගේ අම්මල වගේ ආර්ථික මාරුතයට අහුවෙලා අරාබියට ගහගෙන ගිහිල්ල.මේ නිසා පුංචි ප්‍රියන්තට ඉතුරු වෙන්නේ හීනයක් අතේ  තියාගෙන තමන්ගේ අම්මා එනකම් බලාගෙන ඉන්න.
           කල් ගතවෙලා ප්‍රියන්තගේ අම්මා අපහු එන දවස උදා වෙනවා.කාලෙකට පස්සේ තමන්ගේ අම්මා දකින ප්‍රියන්තට දැනෙන්නේ ලැජ්ජාවක්.
…..අම්මා කොච්චර වෙනස් වෙලාද?කම්බුල් පිම්බිලා,රෝස පාටවෙලා.දැන් අපේ ඉංග්‍රීසි ටීචර්ටත් වඩා අම්මා ලස්සනයි.ප්‍රියන්තට එහෙම හිතුනේ ලැජ්ජා වේවි ඉන්න අතරතුර.
ප්‍රියන්ත අම්මා ගෙනාපු අරුමෝසම් බඩු,ටොපි චොකලට් එක්ක කාලය ගතකරත් ඔහුගේ හිත පුරා තවමත් තියෙන්නේ ඊළඟ දවසේ අම්මා එක්ක කැළණි යන්න.
          වෙසක් දවසත් එළඹිලා ප්‍රියන්ත අසාවෙන් ඉන්නවා අම්මා එක්ක කැළණි යන්න.ඒ අතරතුරේ අම්මා බලන්න ආපු අහල පහල උදවිය, යාළුවො එක්ක ප්‍රියන්තගේ අම්මා කාර්යබහුලයි.දැන් යයි දැන් යයි කියල බලාපොරොත්තුවෙන් හිටියත් ප්‍රියන්තගේ ආශාව ඉෂ්ටවෙන පාටක් නම් නෑ.
                   කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු හීනය කඳුළු විදියට ප්‍රියන්තගේ ඇස් දෙකෙන් ගලාගෙන යනවා.
හානේ!මෙන්න මෙයා මෙතනට වෙලා අඬනවා..අයි මගේ පුතා අඬන්නේ?..පුතාට මම ගෙනාපු තෑගි හොඳ නැද්ද?.පුතා ආසද බයිසිකලේකට,ආ?..මම පුතාට චොපර් බයිසිකලයක් ගෙනත් දෙන්නම් හොඳේ?
ප්‍රියන්තගේ අම්මගේ උත්තරය වෙන්නේ ඔන්න ඕක.ප්‍රියන්තගේ අම්මා විතරක් නෙමෙයි මැදපෙරදිග රස්සාවට යන ගොඩක් අම්මලාගේ කතාව ඕක.ඒ අම්මල අපහු එද්දී වෙලා තියෙන සංස්කෘතික විපර්යාසය දරුවන්ට දරාගන්න බැරිතරම් බරයි.ඒ අම්මලට අමතකයි අපි වඳින්නේ අම්මා කෙනෙක් සතු ගුණකඳට මිස බාහිර පෙනුමට නෙමෙයි කියල
වටින් මහා සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට,නුඹ අම්මා හින්දයි!
කලකට ඉහතදී ලියවුණු මේ පද වැල මේ සිද්ධි දාමයට කොයිතරම් නම් හොඳින් ගැලපේද?


සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ ….
යදම් අමතකද පා බැඳි විලංගුවේ//


පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි//
ඇතින්නියේ …………
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි


සොඬින් නෙළුම් මල ගෙනියන….


වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි//
ඇතින්නියේ…………
නෙළුම් මලට නෙවේ නුඹට නුඹ අම්මා හින්දයි


සොඬින් නෙළුම් මල ගෙනියන ………….


ගායනය      :-අතුල අධිකාරී
සංගීතය      :-………………..
පද රචනය   :-රත්න ශ්‍රී විජේසිංහ

ගීතය  බාගන්න මෙතන කොටන්න




        

24 comments:

  1. හරිම සංවේදි ලිපියක් ......

    ReplyDelete
  2. මැද පෙරදිග යන අම්මලා වසර දෙකකින් ආපහු එනකොට සංස්කෘතික සාරධර්ම ගිලිහි ගිහින්. දරුවන්ගේ අහස උසට බලාපොරොත්තු බිඳවැටිලා. මේක මහා සංස්කෘතික පරිහාණියක්.

    අතුලගේ ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහ.

    ReplyDelete
  3. පොඩි දරුවන් ට අනිත් ඔක්කොටොම වඩා වටින්නේ අම්මගේ ආදරය...

    ReplyDelete
  4. අම්මලා රට යන වැඩේනං නවත්තංඩම ඕන තමයි

    ReplyDelete
  5. අම්මලා මැදපෙරදිග ගිහින් හම්බ කරන ඉටිගෙඩියක් නෑ.මං එහෙම කිව්වේ ජීවිතේට ඕන සල්ලි විතරක් නොවන නිසා.හොද ලිපියක්.

    ReplyDelete
  6. සංගීතය මට මතක විදිහට රෝහණ වීරසිංහයන්.

    ප්‍රධාන කරුණ පිළිබඳව බොහොම දේ කියවෙලා තියෙන නිසා මාත් කියන්නේ යන්නේ නැහැ. මගේ අදහසත් බහුතරය සමග එකඟයි. විවෘත ආර්ථිකයට පිං සිද්ධ වෙන්න අපි ගෙවන එක කරුමයක් ඒ. තව කොයි තරම් නම් ද?

    මම බොහොම ප්‍රිය කරන ගීතයක්. කතාව පටන් ගනිද්දී ම මට හිතුනා එන්නේ මේ ගීතයට බව! :)

    ජය වේවා!

    ReplyDelete
  7. //වටින් මහා සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
    නෙළුම් මලට නොවේ නුඹට,නුඹ අම්මා හින්දයි!//
    තදින්ම හිතට වැදුණා.
    සල්ලි විතරක් තියන ජීවිතයකින් වැඩක් නෑ.

    ReplyDelete
  8. කාලයක් දුරස්වෙලා දුක් විඳිමින් ඉඳල හොයාගෙන එන සල්ලි වලින් සැප විඳිනවට වැඩිය, හැමදාම ළඟින් ඉඳල විඳින දුකත් එක්තරා සැපක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  9. නෙලන්නට ගිහින් පල වැල ගෙනෙන්නම් ඉතින් බරටම, සින්දුවත් මතක් වුනා.

    මමත් හැම වෙලාවේම රට ගිහින් ආපහු එන අයට වෙන විපර්යාසය හොඳට දැකලා තියනවා. ඒ මිනිස්සු ඉන්නේ ගොඩක් වෙලාවට මවාගත්තු ප්‍රතිරුපයකින්. පාරේ තොටේදී "මෙන්න මෙයා රට ගිහින් ඇවිත්" කියල කියන්න පුළුවන් එයා දිහා බලපුහාම.

    ReplyDelete
  10. මනසට මාර දෙයක් ගත්තේ මෙතැනට ඇවිත් ආයිත් එන්නම්.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  11. ගොඩක් වෙලාවට සමහර අම්මල තමන්ගේ දරුවන්ව තේරුම්ගන්න තවමත් ප්‍රමාදයි..

    ReplyDelete
  12. දැනෙන කතාවක් ලියල ඒ වගෙම දැනෙන ගිතයකට. අපුරුයි මල්ලි. මේක ගැන කියවන්න ගියොත් වෙලාවකට අම්මලත් පවු කියල මට කියන්න වෙන්නෙ..මොකද මම එහෙම අම්මල එක්ක අවුරුදු 8කට එහා ගැවසෙන නිසා..
    ඒ හැම අම්ම කෙනෙක්ම මුහුදු පහු කරල ඇවිත් තියෙන්නෙ අනේ තමන්ගෙ දරුවන්ට තියනවට වඩා හැම දෙයින්ම වැඩියෙන් සැප සම්පතක් දෙන්න. ඒක දකින්න ඒ අම්මල එක්ක ගැවසෙන්න ඕනි....හූල්ලන හැටි දකින්න ඕනි....

    ReplyDelete
  13. ඇත්ත ඒ විපර්යාසය අම්මල තේරුම් ගන්නේ ගෙනාපු අරුමෝසම් බැදී කාලයක් එක්ක විනාස වෙද්දී..

    ReplyDelete
  14. දරුවෝ-මුදල් අතර මව්වරු දෝලනය වෙනවා, ගොඩක් වෙලාවට ඇදිලා යන්නේ මුදල් පැත්තට, ඒකයි මේ ඛේදවාචකය!

    ReplyDelete
    Replies
    1. අපේ ජිවන රටාවේ කොතැන හෝ වරදකින් මේ ඛේදවාචකයන් සිදු වෙනවා.අසරණයි සමහරක් අම්මලා.

      Delete
  15. හ්ම්ම්.. පොඩි හිත් හරියට තේරුම් ගන්න එක තමා ගොඩාක් දෙමපියන්ට අද කරන්න බැරි වෙලා තියෙන්නේ.. සෙල්ලම් බඩු අරන් දුන්න පලියට ලමයාට ඕනේ ආදරය ලැබෙන්නේ නැ කියලා ගොඩ දෙනෙක් තේරුම් ගන්නේ නැ..
    ජය වේවා..

    ReplyDelete
  16. මේක මරු බං.. නියමෙට ලියලා... ජය !!

    ReplyDelete
  17. සංවේදී ලස්සන ලියවිල්ලක්... මට නම් රහයි ....

    ReplyDelete
  18. මරු..ලියවිල්ලක්

    ReplyDelete
  19. කම්මැල්ලවීරගේ කෙටිකතා කොහොමටත් හරි අපූරුයි.අර කවි පද දෙක රත්න ශ්‍රීගේ කියලා නම් වචනවලින් තේරෙනවා.ඒත් මොන පොතේද කියලා මතක නෑ.

    ReplyDelete
  20. අද සමාජයේ මුදලට යට වී ගෙන යන උතුම් මනුස්ස හැගීම ගෙන ගොතපු ලස්සන ලියමනක්......

    අපූරු අදහසක් එක්ක කලාට @ නුවන් මලයා උබට තුති...!!

    ReplyDelete