……………අම්ම අරාබියට ගිහිල්ල අවරුදු දෙකක් ගෙවිල ගියත් එදා ප්‍රියන්තගේ හිත ඇතුලේ නලියපු ආශාවල් අදත් එහෙමමයි.අම්ම ගියාට පස්සේ ප්‍රියන්ත ඉස්කෝලෙත් යන්න පටන් ගත්ත.අලුත් යාළුවො ගොඩක් හම්බුණා.අම්ම යන්න කලින් ප්‍රියන්ත ලියන්න දැනගෙන හිටියේ “අම්මා” කියල විතරයි,එත් දැන් “අම්මා ඉක්මනට ගෙදර එන්න" කියලත් ලියන්න පුළුවන්.එත් අම්මත් එක්ක වෙසක් එකට කැළණි යන්න එදා තිබුණ ආශාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
ඉහත කොටස උපුටාගත්තේ ජයතිලක කම්මැලිවීරයන්ගේ මාංචු නම් කෙටිකථා සංග්‍රහයේ එන“වරක් වැන්දොත්” කියන කෙටි කතාවෙනි.
ප්‍රියන්ත කියන පොඩි දරුවා අසාවෙන් ඉන්නේ තමන්ගේ අම්මත් එක්ක වෙසක් දවසේ කැලණිය වඳින්න යන්න.එත් ප්‍රියන්ත ගේ අම්මත් බොහෝ දරුවන්ගේ අම්මල වගේ ආර්ථික මාරුතයට අහුවෙලා අරාබියට ගහගෙන ගිහිල්ල.මේ නිසා පුංචි ප්‍රියන්තට ඉතුරු වෙන්නේ හීනයක් අතේ තියාගෙන තමන්ගේ අම්මා එනකම් බලාගෙන ඉන්න.
කල් ගතවෙලා ප්‍රියන්තගේ අම්මා අපහු එන දවස උදා වෙනවා.කාලෙකට පස්සේ තමන්ගේ අම්මා දකින ප්‍රියන්තට දැනෙන්නේ ලැජ්ජාවක්.
…..අම්මා කොච්චර වෙනස් වෙලාද?කම්බුල් පිම්බිලා,රෝස පාටවෙලා.දැන් අපේ ඉංග්‍රීසි ටීචර්ටත් වඩා අම්මා ලස්සනයි.ප්‍රියන්තට එහෙම හිතුනේ ලැජ්ජා වේවි ඉන්න අතරතුර.
ප්‍රියන්ත අම්මා ගෙනාපු අරුමෝසම් බඩු,ටොපි චොකලට් එක්ක කාලය ගතකරත් ඔහුගේ හිත පුරා තවමත් තියෙන්නේ ඊළඟ දවසේ අම්මා එක්ක කැළණි යන්න.
වෙසක් දවසත් එළඹිලා ප්‍රියන්ත අසාවෙන් ඉන්නවා අම්මා එක්ක කැළණි යන්න.ඒ අතරතුරේ අම්මා බලන්න ආපු අහල පහල උදවිය, යාළුවො එක්ක ප්‍රියන්තගේ අම්මා කාර්යබහුලයි.දැන් යයි දැන් යයි කියල බලාපොරොත්තුවෙන් හිටියත් ප්‍රියන්තගේ ආශාව ඉෂ්ටවෙන පාටක් නම් නෑ.
කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු හීනය කඳුළු විදියට ප්‍රියන්තගේ ඇස් දෙකෙන් ගලාගෙන යනවා.
හානේ!මෙන්න මෙයා මෙතනට වෙලා අඬනවා..අයි මගේ පුතා අඬන්නේ?..පුතාට මම ගෙනාපු තෑගි හොඳ නැද්ද?.පුතා ආසද බයිසිකලේකට,ආ?..මම පුතාට චොපර් බයිසිකලයක් ගෙනත් දෙන්නම් හොඳේ?
ප්‍රියන්තගේ අම්මගේ උත්තරය වෙන්නේ ඔන්න ඕක.ප්‍රියන්තගේ අම්මා විතරක් නෙමෙයි මැදපෙරදිග රස්සාවට යන ගොඩක් අම්මලාගේ කතාව ඕක.ඒ අම්මල අපහු එද්දී වෙලා තියෙන සංස්කෘතික විපර්යාසය දරුවන්ට දරාගන්න බැරිතරම් බරයි.ඒ අම්මලට අමතකයි අපි වඳින්නේ අම්මා කෙනෙක් සතු ගුණකඳට මිස බාහිර පෙනුමට නෙමෙයි කියල
වටින් මහා සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට,නුඹ අම්මා හින්දයි!
කලකට ඉහතදී ලියවුණු මේ පද වැල මේ සිද්ධි දාමයට කොයිතරම් නම් හොඳින් ගැලපේද?
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ ….
යදම් අමතකද පා බැඳි විලංගුවේ//
පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි//
ඇතින්නියේ …………
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි
සොඬින් නෙළුම් මල ගෙනියන….
වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි//
ඇතින්නියේ…………
නෙළුම් මලට නෙවේ නුඹට නුඹ අම්මා හින්දයි
සොඬින් නෙළුම් මල ගෙනියන ………….
ගායනය :-අතුල අධිකාරී
සංගීතය :-………………..
පද රචනය :-රත්න ශ්‍රී විජේසිංහ
ගීතය බාගන්න මෙතන කොටන්න
සාහිත්‍ය මාසේ ගොඩක් දෙනා පොත් පත් එක්ක හිටපු බව බ්ලොග් පොස්ට් කියෙව්වම දැනුණ.හැමෝම පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සහ හොඳ පොත් මිතුරන් ගැන ලියල තිබුණ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න අපිත්(රැන්ගෝ සහ මම) ගියා.ප්‍රදර්ශනය පටන්ගත්තු දවසෙම.එතරම් සෙනග හිටියේ නම් නෑ එදා.අපි යනකොටත් සමහර පොත් සාප්පු වලට පොත් දානව.ඒත් පොත් තෝරා ගැනීමට අවශ්‍ය නිදහස නම් එදා තිබුණ.
ප්‍රදර්ශන ශාලාවට ඇතුල් වුණු අපි පොත් ගැනීම පටන් ගත්තේ කාව්‍යක්කාර මිතුරන් මගින් පවත්වපු පොත් එකතුවෙන්(කැටපත් පවුර ලංගම තිබුණ ප්‍රදර්ශන කුටිය).ගිය පාරත් ඒක තිබුනේ එතනමයි.හා හා පුරා කියල ගත්ත මුල්ම පොත උනේ 2010 වසරේ හොඳම කාව්‍ය කෘතිය විදියට රාජ්‍ය සම්මාන දිනාගත්තු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ හිරුත් හිම පියල්ලක කියන කාව්‍ය සංග්‍රහය
මහින්ද අයියත් ඒ ප්‍රදර්ශන කුටියේම හිටපු නිසා ඔහුගේ සමරුවෙන් ඒ පොතේ වටිනාකම වැඩි උනා.
එතනදීම අපිට මුණගැහුණා සඳුන් අයිය.11 වන පැය කාව්‍ය සංග්‍රහයේ ප්‍රධාන නියමුවෙක් කිව්වොත් හරි.ප්‍රදර්ශන භුමිය අපිට නුහුරු තැනක් බවට පත් නොකරන්න සඳුන් අයිය සහ පිරිස වග බලාගත්ත.සැහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුණා.අපි වැඩිම වෙලාවක් ගත කලේ සයුරි ප්‍රදර්ශන කුටියේවෙන්න ඇති.පොත් මිලදී ගැනීමටත් වඩා එතැනදී අඳුරගත්තු පිරිස වටිනවා කියන එකයි මගේ හැඟීම.
මහගමසේකරයන්ගේ කවි පොත් සියල්ලම කියවා තිබුණත් පොත් එකතුවක ඔහුගේ පොත් කීපය තිබිය යුතුමයි කියල හිතුන නිසා ඔහුගේ කවි පොහ ටිකත් ගත්ත.ඒ වගේම නන්දන වීරසිංහයන්ගේ සත්‍යකාම නම් වෙමි කියන ආඛ්‍යාන කාව්‍ය මම ගොඩක් කියවන්න ආසාවෙන් හිටපු පොතක්.ඒ වගේම ගිංගගේ විලාපය කියන පොතත් ගත්ත.
අපේ බ්ලොග්කරුවන් විසින් සංවිධානය කරපු සයිබර් සිහින උළෙල කට්ටියට මතක ඇති.එකේදී මට පොඩි තරඟ ජයග්‍රහණයක් ලැබිල හම්බු උන තෑග්ගෙන් මම වටිනා පොතක් ගත්ත.මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මම ගත්ත හොඳම පොත මේක කියල මට හිතෙනවා.මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද ඔහුගේ ස්වකීය අත්දැකීම් ඇතුලත් "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කියන කෘතිය මම මිලදී ගත්ත.
තවත් පොත් ගණනාවකට ඇහැ යොමු උණත් තාම පරපෝෂිත වන අපට සල්ලි තමයි ප්‍රශ්නේ.මොනවා කරන්නද කියල හිත හදාගෙන ආව.
මේ පාර වෙනස් තේමාවකින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කරලා තිබුණ බවක් පෙනුන.ගුරු ගෙදර වගේ සංකල්ප තුලින් පොත් ගන්න එන අයට සැහෙන්න සේවාවක් වුණා.
දෙවැනි වතාවටත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියත් ඒ නම් ගියේ පොත් ගන්න නෙමෙයි.ටිකක පරක්කු වෙලා ගියපු නිසා දයානන්ද අයියත්(අස්වැන්න) මඟ අරුනා.එදා නන්දන වීරසිංහයන්ගේ වටිනා දේශනයකට සවන් දීල පොත් එළිදැක්වීමේ උත්සවයකින් සංග්‍රහයකුත් බුක්ති විඳලම ආව!
මගේ නම් අදහස ප්‍රදර්ශන භුමිය තුල වටිනා වෙනස්කම් කරලා තිබුණට පාඨකයා මෙන්ම සුළු පරිමාණ පොත් ප්‍රකාශකයෝ ගැනත් හිතල තිබුණ මදි කියල.පොත් ප්‍රකාශන සමාගමෙන්ම ඒ පොතට දෙන්නේ 20% ක වට්ටමක්.ඒක 30%ක් වත් කරා නම් වටිනවා.අඩුම ගානේ දුර ඉඳන් එන අයගේ බස් ගාස්තු වලට වත් සරිලන විදියට.ඒ වගේම ප්‍රදර්ශන කුටි වල ගාණත් පහුගිය වර්ෂ වලට සාපේක්ෂව ඉතා වැඩි බවයි දැනගන්න ලැබුනේ.
කොහොම උණත් වඩා සංවිධානාත්මකව ඊළඟ වසරේ පොත් ප්‍රදර්ශනය පවත්වනන් කටයුතු කරනවානම් දුර බැහැර ඉඳන් පොත් ගන්න එන අයට වගේම සාහිත්‍යට ලැදි හැමදෙනාටම සේවයක් වේවි!
11 වන පැය ගැන බ්ලොග් ලියන හැම දෙනාම දන්නවා ඇතැයි සිතනවා.11 වන පැය කියන්නේ සාමුහික කාව්‍ය සංග්‍රහයක්.කවි කිවිඳියන් 500 කගේ නිර්මාණ ඇතුලත් ග්‍රන්ථයක්.රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ,ආරියවංශ රණවීර වැනි ප්‍රවීන කවීන්ගේත්,නව පරපුරේ කවි කිවිඳියන් ගේත්,නිර්මාණ මෙයට ඇතුලත්ව තිබුණා.
බ්ලොග් කරුවන් අතරිනුත් අපි දන්නා අදුරන බොහෝ පිරිසකගේ කවි මෙයට ඇතුලත් අරුණැල්ල බ්ලොගය ලියන නජාත් සොයුරාගේ,අකීකරු හිත ලියන දිනිති අක්කගේ,ඉර ඇහැරෙන ඉසව්ව ලියන නෙරන්ජි සුලක්ඛනා අක්කගේ නිර්මාණත් මෙයට ඇතුලත්ව තිබුණා.
සාමුහික කවි පොතක් එළිදැක්වීම යන තේමාවෙන් එහාට ගිය පුළුල් අරමුණක් වටා 11 වෙනි පැය එක්රොක් වෙනවා.නවක පරපුරට භාෂා දැනුම ලබාදෙන භාෂා සාහිත්‍ය ඇකඩමියක් පවත්වන එක ඔවුන්ගේ මුලික අරමුණක්.ඇත්තටම එය කාලීන අවශ්‍යතාවක්.ඉතින් ඒ සත් ක්‍රියාව සඵල කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්න කියල අපි පතමු.
පොස්ටුව ලියන්න හිතුනේ මගේ නිර්මාණයකුත් 11 වන පැයේ ඇතුලත් උනා.මුද්‍රිත මාධ්‍යයක මගේ නිර්මාණයක් ඇතුලත් උන පළමු අවස්ථාව මේක නිසා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියල හිතුනා.
දේවිකා
උඩ බොත්තම් දෙකම ඇරුන
හැට්ටය තුලින් වරින් වර
නුඹේ දුප්පත් ලැම දකිමි මම
චතුරංගනී සේනාවකට
ජිවය පොවන්නට
කිරි තියේදෝ ඔය තනයේ?
අනෝතප්ත විල් පසුකර
දිය කෙළියට යන ගමනේ
මනරම් හිමිදිරි උදයේ
දහසක් බුදු, බුදු වෙනවා
දුටුවේ නැතිද දේවිකා?
තාර ශීට් කුඩ හෙවනට
නුඹේ මදහස අඩු නොවුණා
ඉටිකොළ අස්සෙන් ගෙට එන
පිණි බිඳු දැක
නුඹේ හීනය තෙත් නොවුණා
කැක්කුම් දෙන සීත සුළඟ
එක මිටකට අල්ලාගෙන
හැමදාමත් නුඹේ හීනය
දරුවන්ගේ මංගල්‍යය
හැමදාමත් නුඹේ හීනය
වැහි නැති හිස් අහසක් මත…
(212 වෙනි පිටුව)
ගොඩක් දවසකට පස්සේ කවියට පොඩ්ඩක් සමු දීල වෙන දෙයක් ලියන්න කියල හිතුවෙ.සමුදීල කිව්වට මේ ලියන්න යන්නෙත් මට කියවන්න ලැබුණු කවි පොතක් ගැනම තමයි .
ඇත්තම කියවනවානම් මේක මට කියවන්න ලැබුණු ආන්දෝලනාත්මක කවි පොතක්.පොතේ නම තමයි “මාතෘකාවක් නැති මාතෘ භුමිය හෙවත් දෙමළ කවි “.කතෘ තමයි මංජුල වෙඩිවර්ධන .
කලාකරුවෙක් කියන්නේ සිංහලයෙක්වත් දෙමළෙක් වත් නෙමෙයි ඔහු සංවේදී මනුෂ්‍යයෙක් කියන අදහස මේ පොත පුරාවටම විහිදෙනව.මේ පොත ලියල තියෙනේ ද්‍රවිඩ දෘෂ්ටියකින් කියල කිව්වොත් මම නිවැරදියි.යුධ ජයග්‍රහණයෙන් පස්සේ අපි ජයගොස නැගුවා මිස දෙමළ මිනිස්සුන්ගේ දුක මොකක්ද කියන එක අමතක කරලා දැම්ම.කොටින්ම ඔව්න් මිනිස්සු කියන දේත් අපි අමතක කරල.ජයග්‍රාහී මානසිකත්වයෙන් සියලුම ද්‍රවිඩ මිනිස්සු දිහා අප්‍රිය බැල්මක් හෙලන්න තරම් අපි කුහක වෙලා.ඇත්තටම කිව්වොත් හැම දෙමළ මිනිහෙක්ම කොටියෙක් කියල කියන තැනටම අපි පත්වෙලා.ඉතින් මේ වාතාවරණය ඇතුලේ යුද්ධයෙන් දිනුවේ කව්ද??මේ කතාව දෙමළ කවි පොත පුරාවටම විහිදිලා තියෙනව.
මෙන්න මේ මානසිකත්වය නිසාම සාමාන්‍ය ද්‍රවිඩ මිනිස්සු මුහුණ දුන්න අතිශය සංවේදී සිද්ධි ගොන්නක් මේ කවි වල නිමිති ලෙස දක්වල තියෙනව.
“මඩකලපුව සිත්තන්ඩියේ දිගිලිවෙෛඩ රජයේ පාසලේ පහ වසරේ ඉගෙනුම ලැබූ දැරියක්,සෙබළුන් තිදෙනෙකු විසින් දුෂණය කරන ලදී.ඊට විරෝධය පෑ ගම් වැසියෙකුගේ මළ සිරුර පසුදා එහි පොකුණක තිබී හමුවිය"
(44 පිට - සිත්තන්ඩි කඳුළු )
ත්‍රස්තවාදීන් විසින් සිදුකරන අපරාධ වලට වැරදි කරුවෝ නම් සියලු දෙමළ මිනිසුන්ද?ඔව්නට යුක්තියකට ඉඩක් නැද්ද?ඔවුන් මනුෂ්‍යයෝ නොවේද?
මේ කවි පුරාවටම ඇත්තේ ඔවුන්ගේ අසරණකම නොවේද?
මෙහි පසු ග්‍රන්ථයේ සඳහන් එක් කවියක් පෞද්ගලිකව මාව අතිශය සංවේදී කිරීමට සමත් උණා.
මම ලිඟුමාල වෙමි
සටහන - පොලිස් පාදඩයන් දස දෙනෙකු විසින් දුෂණය කරනු ලැබ අවසාන යෝනිය තුලට අත්බෝම්බයක් දමා පුපුරවාහැර අමානුෂිකලෙස මරා දැමු කොනේශ්වරී අම්පාරේ විසු තෙදරු මවකි.මෙම සිද්ධිය වුයේ 1996 ජුනි මාසයේදීය .එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිත වලට අද මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකය.
අතගසාගෙන නළලත
වෙසක් සඳ වැළපෙයි
ජනේලෙන් හොටු පෙරයි
ලඟපාත ගෙදරක තෙමගුල පිණිස නිම වූ
නෙලුම් මල් සත තවම පරවී නැත .
පන්සීය පනස් ජාතක එක්පතට සින්දා තැනු
නුතන වි-ජාතකයක විරිඳු සුරල් රාවය
විටින් විට තොරණකින්
ඈතින් ඇසේ.
මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
කවියක් පිණිස ඇහැරී බලා ඉන්නා
එකෙණෙහිම
පියඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියේ පතිතව
යෝනියක හැඩතල මවයි.
නිසැකවම ඒ කොනේශ්වරීගේ විය යුතුය.
අම්පාර සිට කොළඹට
පියඹා එන්නට
මේ හැටි කාලයක්?
ඒ තරම් අපි ඈතය
දෑස කඳුලින් සීතය.
කඳුළු අතරින් මම
අංගුලිමාල නොව ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනවැසිය ඕනෑ පුරුෂ නිමිතිය.
බතින් වමතින්ගත් මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත් තියුණු සැතකින් යුතුවද
නික්මෙමි.
මග දිගට හමුවන ගෙයින් ගෙට සන් කොට
සෑම සිංහල ලිඟුවම කපා හුයකින් අමුණමි
අවසානයේ මගෙත්
ආහ්…..
වේදනා දරා ගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.
නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කල හැක.
සහෝදර සිත් නැති ,හැගුම් නැති
ජාතියක් කුමටද?
මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
ඒ මත ලේ පැල්ලමකි
එය කවියකි
එත් එය දෙමලෙනි
සිහළුනට නොතේරෙන්නේ එබැවිනි!
වරද සිහළුන්ගේද, දෙමළුන්ගේද මම නොදනිමි.නමුත් කොහේ හෝ වරදක් ඇත.එය තවම නිවැරදි වී නැත.සුපිරි පැලැන්තියේ ජීවත් වන දෙමළුන් හැර අනෙක් සියළුම දෙමළුන් අපිට බොහෝ ඈතය.සත්‍යය එය යැයි මට සිතේ.
අවසාන වශයෙන් මේ සම්බන්දව සංවේදී වන අතලොස්සක් සිංහලයන්ද දේශද්‍රෝහීන් කර ඇති බව පොතේ පසුවදනින් පිළිබිඹු වේ
“සිංහලයන්ගේ කොදෙව්වේ ,අනෙකාටද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සෑම විටම සමාන යැයි කියූ වරදට දේශ හිතෙයිශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටී”
ඉන්දික උඩුගම්පොළ-පසුවදන
ප.ළි- පොත ගැන විස්තර කිව්වේ නෑනේ
පොත සූර්ය ප්‍රකාශනයක් මිල රු.200යි.
අරුණැල්ල බ්ලොගය ලියන අපේ නජාත් සහෝදරයාගේ නිර්මාණයට ලයික් 1 ක් දාගෙනම යන්න!