Showing posts with label ගීත. Show all posts
Showing posts with label ගීත. Show all posts

09 January 2013

ජනප්‍රිය සංස්කෘතියේ යටිබඩ අතගෑම : HoTel CaliFornia

Eagles සංගීත කණ්ඩායම

1970තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමයක් මගින් කළා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය.එකී හෘදසාක්ෂියේ  හඬ එම යුගයේ කරලියට බට ඊගල්ස්(Eagles) නම් රොක්(Rock) සංගීත කණ්ඩායමෙන් ප්‍රතිරාව දේ.
“Hotel California ගීතය තුලින්  අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”
              ඒ Hotel California ගීතයේ රචකයා වූ ඩොන් හෙන්ලි (Don Henly) ගේ වචනයි.
On a dark desert highway,cool wind in my hair
Warm smell of colitas , rising up through the air
Up ahead in the distance,I saw a shimmering light
My head grew heavy and my sight grew dim
ඒ,සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්වූ මනුෂ්‍යත්වයෙන් තොර සමාජ කාන්තාරයක් යන වෙහෙසකර ගමනේදී ක්ෂේම භූමියක් සේ පෙනෙන මිරිඟුවක්,ඉදිරියෙන් ඇති බවට හඟවන මාර්ග සංඥා ය.එය ගත සනහන සීත සුලන් රැල්ලකි.විටෙක සීතලට ගැලපෙන උණුසුම් මාරිජුවානා ගන්ධයකි.මේ පොපියන සංවේදනයන් තුල හැඟීම් වලින් හිස බරවන අතරේම බුද්ධියේ පෙනීම හීන වේ.
“මිනිසෙකු විසින් ජීවිතයේදී අත්දැකිය හැකි භයානක දේවල් දෙකකි.එනම් ගැහැණිය සහ මත්ද්‍රව්‍ය යි.”
                එසේ කියන්නේ මෙමෙ ගීතයට හඬ මුසුකරන Don Felder ය.
Then she lit up a candle and show me the way
අපායක් විය හැකි දිව්‍යලෝක තුල තමන්ට ආශ්වාස කිරීමට ඔක්සිජන් වුවද සැපයීමට සුදානම් කාන්තාවන් සිටියි.එය,එකට කොක්ටේල් එකක් පානය කිරීමේ අවමයේ සිට ගංජා කුරක ආලෝකයෙන් සුඛාන්ත ලෝකයේ අඳුරු මුළු පෙන්වීම දක්වා දිගු වේ.
            ඇමරිකානු ජනප්‍රිය සිහිනයේ ගිලී සුඛාන්තය කර යන ගමනේදී ඔවුන් වඩ වඩාත් අතෘප්තිකර වේ.මධ්‍යසාර යෙන්  ඔවුන්ගේ උගුර තෙත් නොවේ, කෙතරම් අභිසුරුලියන් හමුවේ වුවද ඔවුන්ගේ රාගය නොසන්සිඳේ.අසහනකාරී බවේ හි තුඩ වෙලාවක් අවේලාවක් නොමැතිව පපු තුලට කිඳා බසී.නින්ද අවශ්‍යම කටුක රාත්‍රියයන්ගේ දී පවා නින්දෙන් අවදි වීමට ඔබට බලකරයි.(Wake you up in the middle of the night just to hear them say…)
          ජීවිතය සොයා යන්නවුන් අවසානයේ තමන්ගේ අතෘප්තිකර ජීවිතය තුල ආත්මීය වශයෙන් සිරගත වේ.(We are just prisoners here of our own device).
අවසානයේදී ධනවාදී සමාජ ගංගාවේ තමන්ට අහිමි වූ තමන්ම ම සොයා ඇවිදින්නට ඔවුන්ට සිදුවේ.බොහෝ දෙනා එසේ සෙවීම අතහැර දම ඔහේ පාවී යන අතර එතරම් සැඩ පහරක වුවද උඩුගම් බලා පිහිනන්නට පොර බඳින  එකෙක් දෙන්නෙක් නැතුවා නොවේ.එසේ වුවත් එකී හැම අවස්ථාවකදී ම සිදුව ඇත්තේ ‘මෙයින් නික්මීම මරණය පමණක්ය’ යන්න ඔවුන්ට සිහිගන්විම පමණි.මේ ඔවුන්ගේ ශෝකාලාපයයි……
Last thing I remember I was, running for the door
I had to find the passage back to the place I was before
Relax said the night man we are programmed to receive
You can check out anytime you like but you can’t never leave…
මඟ දිගට ටෙලිවිෂන් කුණු බක්කි අවුස්සමින් දිනක් පහන්වන ඇසිල්ලෙහි සියලු ක්ලේශ නසා රියලිටි තරුවක්  වීමට අතදරුවාගේ පටන් පොරකන සමාජයකට උචිතම තැන Hotel California නොවේද?

Hotel CaliFornia audio


 

06 October 2012

පොඩි කතාවක්!


……………අම්ම අරාබියට ගිහිල්ල අවරුදු දෙකක් ගෙවිල ගියත් එදා ප්‍රියන්තගේ හිත ඇතුලේ නලියපු ආශාවල් අදත් එහෙමමයි.අම්ම ගියාට පස්සේ ප්‍රියන්ත ඉස්කෝලෙත් යන්න පටන් ගත්ත.අලුත් යාළුවො ගොඩක් හම්බුණා.අම්ම යන්න කලින් ප්‍රියන්ත ලියන්න දැනගෙන හිටියේ  “අම්මා” කියල විතරයි,එත් දැන් “අම්මා ඉක්මනට ගෙදර එන්න" කියලත් ලියන්න පුළුවන්.එත් අම්මත් එක්ක වෙසක් එකට කැළණි යන්න එදා තිබුණ ආශාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
ඉහත කොටස උපුටාගත්තේ ජයතිලක කම්මැලිවීරයන්ගේ මාංචු නම් කෙටිකථා සංග්‍රහයේ එන“වරක් වැන්දොත්” කියන කෙටි කතාවෙනි.
           ප්‍රියන්ත කියන පොඩි දරුවා අසාවෙන් ඉන්නේ තමන්ගේ අම්මත් එක්ක වෙසක් දවසේ කැලණිය වඳින්න යන්න.එත් ප්‍රියන්ත ගේ අම්මත් බොහෝ දරුවන්ගේ අම්මල වගේ ආර්ථික මාරුතයට අහුවෙලා අරාබියට ගහගෙන ගිහිල්ල.මේ නිසා පුංචි ප්‍රියන්තට ඉතුරු වෙන්නේ හීනයක් අතේ  තියාගෙන තමන්ගේ අම්මා එනකම් බලාගෙන ඉන්න.
           කල් ගතවෙලා ප්‍රියන්තගේ අම්මා අපහු එන දවස උදා වෙනවා.කාලෙකට පස්සේ තමන්ගේ අම්මා දකින ප්‍රියන්තට දැනෙන්නේ ලැජ්ජාවක්.
…..අම්මා කොච්චර වෙනස් වෙලාද?කම්බුල් පිම්බිලා,රෝස පාටවෙලා.දැන් අපේ ඉංග්‍රීසි ටීචර්ටත් වඩා අම්මා ලස්සනයි.ප්‍රියන්තට එහෙම හිතුනේ ලැජ්ජා වේවි ඉන්න අතරතුර.
ප්‍රියන්ත අම්මා ගෙනාපු අරුමෝසම් බඩු,ටොපි චොකලට් එක්ක කාලය ගතකරත් ඔහුගේ හිත පුරා තවමත් තියෙන්නේ ඊළඟ දවසේ අම්මා එක්ක කැළණි යන්න.
          වෙසක් දවසත් එළඹිලා ප්‍රියන්ත අසාවෙන් ඉන්නවා අම්මා එක්ක කැළණි යන්න.ඒ අතරතුරේ අම්මා බලන්න ආපු අහල පහල උදවිය, යාළුවො එක්ක ප්‍රියන්තගේ අම්මා කාර්යබහුලයි.දැන් යයි දැන් යයි කියල බලාපොරොත්තුවෙන් හිටියත් ප්‍රියන්තගේ ආශාව ඉෂ්ටවෙන පාටක් නම් නෑ.
                   කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු හීනය කඳුළු විදියට ප්‍රියන්තගේ ඇස් දෙකෙන් ගලාගෙන යනවා.
හානේ!මෙන්න මෙයා මෙතනට වෙලා අඬනවා..අයි මගේ පුතා අඬන්නේ?..පුතාට මම ගෙනාපු තෑගි හොඳ නැද්ද?.පුතා ආසද බයිසිකලේකට,ආ?..මම පුතාට චොපර් බයිසිකලයක් ගෙනත් දෙන්නම් හොඳේ?
ප්‍රියන්තගේ අම්මගේ උත්තරය වෙන්නේ ඔන්න ඕක.ප්‍රියන්තගේ අම්මා විතරක් නෙමෙයි මැදපෙරදිග රස්සාවට යන ගොඩක් අම්මලාගේ කතාව ඕක.ඒ අම්මල අපහු එද්දී වෙලා තියෙන සංස්කෘතික විපර්යාසය දරුවන්ට දරාගන්න බැරිතරම් බරයි.ඒ අම්මලට අමතකයි අපි වඳින්නේ අම්මා කෙනෙක් සතු ගුණකඳට මිස බාහිර පෙනුමට නෙමෙයි කියල
වටින් මහා සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට,නුඹ අම්මා හින්දයි!
කලකට ඉහතදී ලියවුණු මේ පද වැල මේ සිද්ධි දාමයට කොයිතරම් නම් හොඳින් ගැලපේද?


සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ ….
යදම් අමතකද පා බැඳි විලංගුවේ//


පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි//
ඇතින්නියේ …………
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි


සොඬින් නෙළුම් මල ගෙනියන….


වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි//
ඇතින්නියේ…………
නෙළුම් මලට නෙවේ නුඹට නුඹ අම්මා හින්දයි


සොඬින් නෙළුම් මල ගෙනියන ………….


ගායනය      :-අතුල අධිකාරී
සංගීතය      :-………………..
පද රචනය   :-රත්න ශ්‍රී විජේසිංහ

ගීතය  බාගන්න මෙතන කොටන්න




        

26 May 2012

වෙල්ලස්සේ කිරි අම්මලා!

ඌව වෙල්ලස්ස කියන්න අතීතයේ ඉදන්ම බොහොම සශ්‍රික පළාතක්.වෙල්ලස්ස කියන්නෙ වෙල් ලක්ෂයක් කියන පදයෙන් හැදුන කියල තමයි කියන්නෙ.එ වගේම ආගමික විස්වාස එහෙම ගොඩක් තියෙන පළාතක්.වෙල්ලස්ස පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ජනවහරේ කිරි අම්මල හත් දෙනෙක් ඉන්නව ඉඳිගොල්ලේ කිරිඅම්මා,උනාපානේ කිරිඅම්මා,කන්දේ කිරිඅම්මා,දිවැස් කිරිඅම්මා,වෙල්ලස්සේ කිරිඅම්මා,කුකුලාපොල කිරිඅම්මා,බිලි කිරිඅම්මා යන අය තමයි එ කිරි අම්මාවරු හත්දෙනා.මේ අතරින් වෙල්ලස්ස පළාතේ කුකුලාපොල කිරිඅම්ම කියල හදුන්වන්නේ කුවේණිව.

ancentඉංග්‍රීසි පාලන සමයේදී පැවතුනු පාලනක්‍රමයටවිරුද්ධව වෙල්ලස්සෙන් ලොකු කැරැල්ලක් ඇති උණා.එ කැරැල්ල බොහොම සාර්ථක විදියට ක්‍රියාත්මක උණත් අපේ රටේම ඉන්න කළු සුද්දන්ගේ පිහිටෙන් කැරැල්ල මර්ධනය කරන්න ඉංග්‍රීසින් සමත් උණා.ඉන් පස්සෙ වෙල්ලස්සේ ගම් විනාශ කරල,වැව අමුණු විනාශ කර විතරක් නෙමෙයි අවරුදු 18ට වැඩි  සියලු පිරිමින් මරාදමන්න අණ කරා.ඒ උණත් වෙලස්සේ ඉතුරු වුන පිරිස හැංගිලා, පාවාදීම් වලට බයේ නම් ගම පවා වෙනස් කරගෙන ඔවුන්ගේ සංස්කෘතිය රැකගත්ත.

                      මේ අතරේ 1978 විවෘත ආර්ථික ක්‍රමයේ හදුන්ව දීමෙන් පස්සෙ 1982 වර්ෂයේදී ගොවීන්ගේ ඉඩම් බලෙන් පවරාගෙන මොණරාගල සීනි කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න බුකර්ටේට් කියන බ්‍රිතාන්‍ය සමාගමට රජය අවසර දුන්න.මේකට විරුද්ධවත් ගොවීන් නැගී හිටිය.එ ගැන කියවෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මය ගයනා කරන බිම්බරක් සෙනග ගැවසුන කියන ගීතය.

                                    ජන වහරේ එන කුකුලාපොල කිරි අම්මා ගැන සම්බන්ධ කරගත්තත් මම අද කියන්න යන ගීතයේත් තියෙන්නෙ අර දේශපාලනික වටපිටාවම කියලයි මට හිතෙන්නෙ.ගීතය තමයි “කුකුලාපොල කිරි අම්මේ"කියන ගීතය.ගීතය ගයනා කරන්නෙත් ගුණදාස කපුගේ මහත්මය.එහි තනුව හැටියට යොදාගෙන තියෙන්නෙ වැදි ගීයක ආකෘතිය.මුලින්ම අහද්දී මටත් ටිකක් නීරස ගතියක් දැනුන.එත් පස්සෙ සින්දුව අහද්දී නම් එ ගතිය නැති වෙලා ගියා.

         

        කුකුළාපොළ  කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි

        මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි

        නිවැරැද්දේ අපට මෙහෙම පිටු පෑවේ ඇයි

        කුකුළා පොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි 

     

        සංහිඳ හෙවණේ වෑ තෙර බෝ රුක මුදුනේ

        ගල් වැව් මණ්ඩියෙ නිතර නුඹ වැඩ උන්නේ

        කොයි සිට බැලුවත් අම්මේ දුරට පෙනෙන්නේ

        රන්කොත වැන්නේ නුඹ ගණ රන් කොත වැන්නේ


        යකඩ ඇතුන්නේ බිරුසන් හඬ ගුගුරන්නේ

        රුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ

        ඉඳිකඩ අයිනේ සෙයිලම ළඟ ළඟ එන්නේ

        තුන් යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ


මේ ගීතයේදී කුකුලාපොල කි‍රී අම්මව ආදේශ කරල තියෙන්නෙ වෙල්ලස්ස පැත්තේ තියෙන ගැමි බවට,ස්වාභා සෞන්දර්යයට.ඇය ගැමි පරිසරය තුල ජීවමානයි කියල තමයි රචකයා කියල තියෙන්නෙ.ගීතයේ පලවෙනි සහ දෙවැනි කොටස් වලින් ඒක පැහැදිලිවෙනවා.
                                බිම්බරක් සෙනග ගැවසුන ගීතයේ සහ මේ ගීතයේ කියවෙන්නේ එකම සමාජ දේශපාලන කතාවක් කියල මට හිතුනේ,බිම්බරක් සෙනග ගීතය ලිවීමේදී එ ගීතයේ රචකයා වෙච්ච රත්න ශ්‍රී විජේසිංහයන් යොදාගෙන තිබුනේ වෙල්ලස්ස පළාතේ තියෙන මෙන්න මේ ජන කවිය
                                     
              කන්ද උඩින බැස්ස කලට පෙනේය උළු මාළිගාව
              බිම්බරකුත් සෙනග ඇවිත් රුවට කරපු මාළිගාව
              උදේ හවා දිස්නේ දිදී රන්කොත් බබලන සොබාව
              ලංකාවට තිලකයක්ය සබරගමුව මාළිගාව
                                  ටිකක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි කුකුලාපොල කිරි අම්මා ගීතයේ දෙවැනි කොටසේත් තියෙන්නෙ මෙන්න මේ අදහසම කියල.
                      එ වගේම බිම්බරක් සෙනග ගැවසුන ගීතයේ අන්තිම කොටසේ තියෙන,
            ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච නාදයෙන් ඇලලුණ
            වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි…
                                       කියන කොටසේත්, කුකුලාපොල කිරි අම්ම ගීතයේ අන්තිම කොටසේ එන,
         යකඩ ඇතුන්නේ බිරුසන් හඬ ගුගුරන්නේ
         රුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ…..
                                                      කියන කොටසේත් තියෙන්නෙ එකම අර්ථය.මේ නිසා මේ ගීත දෙකෙන්ම කියවෙන්නේ එකම කතාවක් කියල තමයි මගේ නම් අදහස.
                                           මේ කියන ගොවීන්ගේ ඉඩම් පවරා ගැනීමේ සිද්ධියෙන් පස්සෙ වෙල්ලkapugeස්සේ තිබුන සශ්‍රිකත්වය සහමුලින්ම විනාශ උණා.අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ විතරක් වැව් සියගානක් තිබිල තියෙනව,මේ සේරම වහල තමයි ඒවා උඩින් සීනි කර්මාන්තශාලාවට එන්න පාරවල් හදල තියෙන්නෙ.මේ සිදුවීමේදී ගුණදාස කපුගේ මහත්මය සක්‍රියව ගොවීන්ගේ අරගලයට තමන්ගේ හඬ දායක කරල තියෙනව.කොහොම උණත් මිනිස්සු දේශපාලනික අනාථයන් කරපු අවස්ථාවකට තවත් උදාහරණයක්‌.
  ගීතය අහලම බලන්න
ප.ලි /
  • චීන කමියුනිස්ට් නායක මාවෝ සේතුං වරක් කිව්වා සමහර පුද්ගලයන්ගේ මරණයන් අපිට දැනෙන්නේ කුරුළු පිහාටුවක් බිමට වැටෙනවා වගේ බොහම සැහැල්ලුවට කියල,එ වගේම සමහර පුද්ගලයන්ගේ මරණය මහා පර්වතයක් කඩාගෙන වැටෙනව වගේ දරාගන්න අමාරුයි.ඔබා මාමගේ මරණයත් එහෙමයි.අනපේක්ෂිත මොහොතක අපි අතරින් වියෝ වුන ඔබා මාමගේ මරණයෙන් අපි ගොඩක් දෙන සිහි එළවගත්තේ නෑ.අද උණත් මේ ලිපියට ඔහුගෙන් කමෙන්ට් 1ක් නොවටෙවී කියල මට හිතන්න අමාරුයි.එත් ඉතින් ජීවිතය කියන්නෙ ඕක තමයි.බුදු දහම කියන්නෙ කොච්චර යථාර්තවාදී  දර්ශනයක් ද කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට,වෙන මොනම හරි චින්තනයක් මේ වගේ වෙලාවට ගලපන්න පුළුවන්ද කියන 1 මට ප්‍රශ්නයක්(අනිත්ආගම් පහත් කරල දැකීමේ පටු අරමුණක් නොවේ).කොහොම වුනත් ඔබා මාම අපි අතර තවමත් ජීවමානයි.
  • කුකුලාපොල කිරි අම්මා ගීතය ගැන මාම අහල තිබුනත් එ ගීතය හොයාගන්න මාර කට්ටක් කෑවේ.නෙට් 1 නම් කොහෙවත් නෑ කියල 100% ක් ෂුවර්.ඉතින් මේ ගැන අස්වැන්න බ්ලොගය ලියන දයානන්ද රත්නායක අයියට කිව්වම එතුමා එ ගීතය විතරක් නෙමෙයි ගුණදාස කපුගේ මහත්මය  ගායනා කරන අපි අහල නැති දුර්ලභ ගීත ගොන්නක් මට ලැබෙන්න සැලැස්සුව.එ විතරක් නෙමෙයි මේ ගීතයේ පද ටික ලියල දුන්නෙත් එතුමා.සමහරෙක්ට ඒක පොඩි වැඩක් වෙන්න පුළුවන්,එත් දයානන්ද අයියේ ඔබ වැන්නෙක් මට ගීතයක් සොයාදීම පිටිපස්සේ වචනයෙන් කියාගත නොහැකි මනුස්සකමක් තියෙනව.ඔබට අනේක වාරයක් පින්!
  • අනිත් කාරණය තමයි මේ පාර උසස්පෙළ කරන නිසා මේ දවස්වල වැඩ වැඩියි.තව මාස 2යිනේ තියෙන්නෙ.එ නිසා ගොඩක් අයගේ බ්ලොග් බලන්න උනේ නෑ පහුගිය දවස් වල.ඒ ගැන අහිතක් හිතන්න එපා කියලත් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.

03 April 2012

ධර්මපාල නම් පියෙකුගේ ප්‍රකාශය!

ඈත දඹදිව ධර්මපාල කියල රජ කෙනෙක් හිටිය.ඔහුගේ පරම්පරාවේ සියල්ලන්ම නියමිත ආයුෂ වළඳල තමයි මිය ගියේ .කිසිම කෙනෙක් අකාලයේ මිය ගියේ නෑ .මේ රජතුමාගේ පුත් කුමාරය යනව දිසාපාමොක් ආචාරිය ලඟට ඉගෙන ගන්න.ඉතින් මේ දිසාපාමොක් ආචාරීන් ළඟ ඉගෙන ගනිපු වෙනත් තරුණ ශිෂ්‍යයෙක් මිය යනව.ඉතින් මේ සිදුවීම වෙලාවේදී ධර්මපාල පුත් කුමාරය ඉතාම පුදුමයෙන් මේ දිහා බලල කියනව අපේ පරපුරේ නම් කිසිම කෙනෙක්  මේ විදියට අකාලයේ මැරෙන්නේ නෑ කියල.ඉතින් මේ කාරණාව පරික්ෂා කරන්න දිසාපාමොක් ආචාරිය එළුවෙක්ගේ  ඇට කැබැල්ලකුත් අරන් යනව ධර්මපාල රජතුමා ලගට,ගිහින් කියනව පුත් කුමාරය මිය ගියා කියල.
මේ වෙලාවෙ ධර්මපාල රජතුමා කොක් හඬ දාල හිනා වෙනව.ඔහු කියනව ඒක වෙන්න බෑ මොකද තමුන්ගේ පව්ලේ සියලු දෙනාම පන්සිල් රකින අය,ඔවුන් රට පාලනය කරන්නෙ දස රාජ ධර්මය අනුව.ඒ නිසා ඔවුන් සියල්ලන්ම නියමිත ආයු වළඳල තමයි මිය යන්නෙ කියල.මේ තමයි අපි දන්නා ධර්මපාල ජාතකය.
          80 දශකයේදී තවත් පියෙක් තමන්ගේ පුතාව යවනවා  ඉගෙන ගන්න.දළදා හාමුදුරුවන්ගේ අඩවියට,හන්තාන අඩවියට.මේ පිය රජතුමාත් බොහොම දැහැමිව තමුන්ගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන පියෙක්,මේ නිසා ඔහුත් අකල් මරණ ගැන දන්නෙ නෑ.නමුත් දවසක් තමන්ගේ පුතා ගෙදර එනව පෙට්ටියක,උඩුකුරුව සැතපිලා ,දෑත් බැඳගෙන.මේ වතාවේ මේ පියාට හිනා වෙන්න ඉඩක් නෑ.නමුත් ඔහුට පුදුමයි මේ දේ සිද්ධ උණේ කොහොමද කියල.නමුත්  ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා.ඉතින් මේ අවනඩුව කාට කියන්නද??
         මේ පියා එක් පියෙක් නෙමෙයි,80 දශකයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියළුම පියවරු නියෝජනය  කරන පියෙක්.ඉතින් මේ අවනඩුව නීතියත් වල් වැදුන කාලයක වෙන කාගෙන් අහන්නද, දළදා හාමුදුරුවන්ගෙන් ඇර?

දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුවනේ kapuge
පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නෙ…
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

Wenas_wemu          ගීතය ලියල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහ මහතා,වචන වලටම ඔබින විදියට සංගීතය සහ හඬ දායක කරල තියෙන්නෙ ගුණදාස කපුගේ මහතා.

තව කාරණයක් කියන්න ඕන.අද දවස විශේෂ දවසක්.ගුණදාස කපුගේ මහත්මය අපි අතරින් වෙන් වෙලා ගිහින් තියෙන්න 2003 අද වගේ දවසක.ඒ වගේ ශ්‍රේෂ්ට කලාකරුවෙක් සිහිකරන්නත් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න හිතුනේ.ගුණදාස කපුගේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට,වැඩ කරන මිනිස්සුන්ට  ගීත කියපු ගායකයෙක් කියල මේ ගීතයෙන් තවත් පැහැදිලි වෙනව.
                                       ගීතය බාගන්න මෙතන කොටන්න 

කපුගේ  ගැන ලියවිච්ච සාර්ථක ලිපියක් අස්වැන්නේ තියෙනවා ඒක බලන්න මෙතනින් යන්න!

25 January 2012

පමා වූ පෙම්වත!

                            අද ඔබගේ මංගල රාත්‍රියයි .සඳක් වැනි ඔබගේ මුහුණ කඳුළු සේලයෙන් වැසී ඇත.ජීවිතයේ වැදගත්ම රාත්‍රියේදී ඔබ කඳුළු සලයි .තාරුකා වැනි ඇස් කඳුළු වලින්  තෙත් වී එහි කාන්තිය නැතිවී ගොසින්ය. රෝස පෙති වැනි කම්බුල් මතට කඳුළු බින්දු පතිත වේ.

        අද මා ගෙවන කටුකම රාත්‍රියයි.ඔබ මා ළඟ නැත.තනිකමේ සීතලෙන් මා මුසපත්ව සිටිමි.මම දෙනෙත් පියාගෙන ඔබේ උණුසුමට ගුලි වෙමි.

 

        **   “මෙලොව සිටින කිසිදු පෙම්වතෙක්

              දරාගත නොහැකි ශෝකයෙන්

              කිසිදාක කඳුලක් නොහෙළ බැවින්

              මටද ඇඬීමට නොහැක ..”

 

රෑ ඇඳේදී දකින සිහිනයක් නොවේ ජීවිතය.හෙට අළුත් දවසකි.අප දෙදෙනාම එයට මුහුණ දිය යුතුය.අද පටන් අප දෙන්නා දෙදෙනෙකි.

සියලු බාධක වලට අප අද පටන් තනියම මුහුණ දිය යුතුය.1sad_man

ලෝකයට නොපෙනෙන පරිදි  ඔබට හැඩීමට හැක්කේත් ,මට දුක් වීමට හැක්කේත් රාත්‍රියේදී පමණි. සඳ බැස යාමට ආසන්නය .රාත්‍රියද ගෙවී අවසන් වීමට ආසන්නය.ජීවිතය රාත්‍රියට වඩා දිගු එකකි. ඔබේ සිහිනයෙන් මට යන්න අවසර දෙන්න.

ඔබ මගේ සිතේ කොතැනක හෝ සදාකල්හිම රැදී සිටීවි.

අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකි.ඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!

                 **   “ තියුණු විස කටු පොකුර

                       මත තබා මගේ දෙතොල

                       අවසාන වරට නුඹ සිප ගනිමි

                       හෙට ප්‍රභාතය  පිණිස ….”

 

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... ‍
රෝස පෙති කඩා හැලේ


කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...


නින්ද නැති රැයේ...//


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ...


නින්ද නැති රැයේ...//


ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

 

** උපුටනය :-  රත්න ශ්‍රී විජේසිංහයන්ගේ  සුභ උදැසන           කාව්‍ය සංග්‍රහය.(44  වන පිට "පමා වූ පෙම්වත")

                           

         

10 January 2012

කුණුහරුප නොවේ !

පහුගිය දවසක අපේ යාලුවෝ ටික දෙනෙක් අතර ඇතිවුන කතා බහක් තමයි අද ලිපියට මුල් වෙන්නේ.මුලින්ම කියන්න ඕන මේවා ඒ යාලුවන්ගේ හෝ මාගේ අදහස් නෙමෙයි .ඒවා ඒ ගොල්ලන්ටත් අහන්න ලැබුණු දේවල් .(මතක් වෙනකොටත් හිනා යනවා Open-mouthed smile)
                    හරි ! මේකයි කරණය !
අපේ සමහර ගීතවල යටි අර්ථ ගැන තමයි අපි කතා කරේ.ඇත්තටම සමහරක් කතා නම් ඇත්තටම වටිනවා.එත් සමහර අදහස් නම් පිළිගන්න අමාරුයි(පිළිගන්න බෑ නෙමෙයි ).මම අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ සින්දු 2 ක් 3 ක් ගැන.
ඔයාල අහල ඇති එඩ්වඩ් ජයකොඩි මහත්මය ගයනා කරන “සිරි යහනේ ලණු ඉහීරී සුසුම් හෙලන රෑ…..”ගීතය.ඒ ගීතය ලියල තියෙන්නේ ලුෂන් බුලත්සිංහලයන්.ටිකක් ආන්දෝලනාත්මක ගීත ලියපු රචකයෙක්නේ. (දම් පාටින් ලා සඳ බැස යනවා….,කොළොම්තොට..වගේ ගීත )
  හරි !මම කිව්වේ සිරි යහනේ... ගීතය ගැනනෙ!මට දැනගන්න ලැබුණු විදියට මේකෙන් කියවෙන්නේ තරුණවිය ඉක්මවපු තනිකඩ පිරිමියෙක් රාත්‍රියේදී (කියන්නත් ලැජ්ජයි Smile)ස්වයං වින්දනයේ යෙදෙන සිදුවීමක්ලු!(කුණුහරුප කියනවා නෙමෙයි හොදේ  Smile with tongue out,ඕකට මම දන්න සභ්‍යම වචනය තමයි කිව්වේ ).මේ අදහසට හේතුව තමයි ඒ ගීතයේ මුල් පද කීපය.

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ //

නාරිලතා මල් දැක්කම තාපසයන්ගේත් දැහැන් බිඳෙනවා කියල අහල  ඇතිනෙ.
ඔන්න ඕක තමයි කතාව.බැලුවම ඒක එහෙම නොවෙන්නත් බැරි කමක් නෑ. එත් ලුෂන් බුලත්සිංහල මහත්මය කියල තිබුන පුවත්පතකට එකෙන් අදහස් වෙන්නෙ තනිකඩ පුද්ගලයෙක්ගේ කාන්සිය,පාළුව කියල.මටත් ඉතින් හිතෙන්නෙ එහෙමයි මුළු සින්දුවම ඇහුවම.(අර විදියට නොහිතෙනවා නෙමෙයි Open-mouthed smile)
මේ සින්දුව මුලින්ම අමරදේව මහත්මයටලු දීල තියෙන්නේ එත් සින්දුවේ යටි අර්ථය දැනගත්තම එතුමා සින්දුව ගායන කරන ඒක ප්‍රතික්ෂේප කරාලු.(මම නම් දන්නේ නෑ ,ඔය එක එක්කෙනා කියන්නේ)

                           දෙවැනි සිද්ධිය තමයි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගයන “ගහක මල් පිපිලා “ ගීතය.මේ ගීතය ලියල තියෙන්නේ යමුනා මාලනී පෙරේරා කියන ප්‍රවීන රචිකාව.දැන් කට්ටිය කියන විදියට ඕකෙන් කියවෙන්නේ සමලිංගික ප්‍රේමයක් ගැනලු.Open-mouthed smile(මම නෙමෙයි කියන්නේ ).එකට හේතුව තමයි මෙන්න මේ පද පේලි ටික
සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්           
හිරුට පෙම් බැඳී එකදු තරුවක් සිටිය නොහැකිද යම්
ලොවට නොපෙනෙන මගේ  ප්‍රේමය ඒ වගේ මනරම් …..

මේ පේලි ටික විතරක් ගත්තම ඔය අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ(ඉරත් තරුවක්නේ).එත් පද රචිකාවියක්  ඕක අදහස් කළා කියල මට නම් පිළිගන්න අමාරුයි.(අපේ රටේ).

  
                        අනිත් කතාව තමයි චාමර වීරසිංහ ගයනා කරන “තිස්ස වැවේ ඉවුර ලඟට…” ගීතය.මෙන්න මේකේ අන්තිම පද 4නුත් අදහස් වෙන්නේ අර “සිරියහනේ ලණු ඉහීරී “ ගීතයේ අදහසට සමාන අදහසක්ය කියල තමයි මට දැනගන්න ලැබුනෙ.Open-mouthed smile.
          ගීතයේ අන්තිම පද 4 තමයි
……..ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
          හිතේ මැවුණු සොඳුරු හැගුම් සොරොව් කටින් එපිට ගියා…
ඔය පද ටිකෙනුත් අර අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ වගේ .
එත් මුළු ගීතය ගත්තම ඒ අදහස ඉස්මතු වෙන්නේ නෑ(මාගේ තර්කයට අනුව).
           
                           විශේෂයෙන්ම කියන්න ඕන මේවා මාගේ යාලුවන්ගේ හෝ මාගේ පෞද්ගලික අදහස් නෙමෙයි.අපේ සමාජයේ තිබෙන මතවාද.නමුත් කව්රු මේ අදහස් ප්‍රකාශ කලත් ඒවා වැරදියි කියන්න පෞද්ගලිකව මට නම් අයිතියක් නෑ.මම මේ ලිපිය ලියන්නේ ඒ අදහස් ගරහන්න නෙමෙයි.මට ඒ අදහස් පිළිගන්න අමාරුයි කියන්න.නමුත් මේ වගේ සියුම් මොළ තියෙනවද කියල මට නම් වෙලාවකට හිතෙනවා ඔය වගේ අර්ථයන් ගීතයකින් මතුකරගන්න තරම්(අදහස වැරදි උණත් නිවැරදි උණත් ).කොහොම උණත් බුදු බණේත් කියල තියෙනවනේ තමන්ගේ සිහි නුවණින්  කල්පනා කරලා බලල ඕනෑම දෙයක් පිළිගන්න කියල.අපිත් ඒ ආදර්ශය හිතට ගමු!
 එහෙනම්  තවත් පොස්ට් 1 කින් හම්බවෙමු !
                                         ජය වේවා !


ප.ලි- *ගීත වල පද පේලි උඩ කෙටීමෙන් එම ගීත බාගත හැක
        *මෙමගින් මාගේ හෝ මාගේ මිතුරන්ගේ පෞද්ගලික අදහස් නිරූපනය නොවන බව සලකන්න.
         *දෝෂරෝපණයක් ඇත්තම් එයද පවසන ලෙස ඉල්ලා සිටිමි .



  


      

05 January 2012

දිරිය කත!

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනව මුලින්ම . අලුත් අවුරුද්දේ  වැඩ අල්ලන්නයි මේ ලේස්ති වෙන්නෙ. මේ ලගදි මම තුමාට ගීතයක් අහන්න ලැබුණ.කලින් අහල තිබුණට මේකේ lyrics බැලුවේ නම් ලගදි.ඒ කිව්වේ ඊයේ පෙරේද !මගේ යාලුවෙක් තමයි මාව දැනුවත් කරේ මේ ගැන .
           
මෙන්න පද මාලාව ..

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද.
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...



දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...


තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ
..


පද රචනය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ ,සංගීතය රෝහණ වීරසිංහයන්ගේ .ගීතය ගායනය කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය.

           1978  විවෘත ආර්ථික පනතත් එක්ක අපේ රටේ ආරම්භ  උණා  නිදහස් වෙළඳ කලාප කියල ජාතියක්.මේවයේ ප්‍රධානම වෙළඳ භාණ්ඩය උනේ ඇඳුම්.කොටින්ම සුද්දන්ට ඇඳුම් මැසීම තමයි අරමුණ. මේවට ගම්බද තරුණියෝ සැහෙන්න පිරිසක් ඇදිල අවා.ඒත් ඔවුන්ගේ නොදැනුවත් කමෙන් ප්‍රයෝජන ගත්තු සමහර පිරිස් නිසා ඔවුන්ගේ සමාජ පිළිගැනීම නැති වෙලාම ගියා.ඔවුන් වෛශ්‍යාවන් ගානටම දාල  කතා කරපු කාලයක් තිබුණ.
              නොයෙක් අග හිඟ කම නිසා රැකියාවට එන මේ  තරුණියෝත් බොහොම සංවේදී කාන්තාවන් .මුල් පද පේලි වලින් ඉස්මතු වෙන්නෙ ඒ දේ  කියලයි මට හිතෙන්නේ.
           ගම්බද මේ කාන්තාවෝ මුහුණ දෙන අපහසුතා ව්‍යංගාර්ථයෙන්  දෙවැනි verse  එකේදී  මාර ලස්සනට කියල තියෙනව.ඉර හඳ දෙක කියල අදහස් කරන්න ඇත්තේ දෙමව්පියෝ .ඔවුන් දෙදෙනා මහළුයි කියල අදහස් වෙනව “දුඹුල් බැඳී" කියන කොටසෙන්.මේ දරුවන්ටත් නිසි අධ්‍යාපනයක්‌ ලැබිල නෑ.ගෙදර ලිපේ ගින්දර ඇවිලෙන්නේ නෑ.ඇවිලෙන්නේ හිතේ ගින්දර විතරයි.
දුකක් තේරුම් ගන්න බැරි කෙනෙක් කාන්තාවක් වෙන්න පුළුවන්ද?ඉතින් මේ දුක තේරුම් අරගත්ත ඇය නියම කාන්තාව නොවේද??
        මේකේ අන්තිම verse 1 දකිද්දී නම් මට මතක්‌ වෙන්නේ බූන්දියේ කියවපු කවියක්!  මෙතනින් යන්න එක බලන්න .
නූල් පටකින් ඇය ගෙදරක් ගොඩ ගන්න හැටි කොච්චර නම් සංවේදීද?මේකෙන් නිරුපනය වෙන්නේ එක පවුලක කතාවක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.අපේ රටේ ආර්ථිකයට ඇඟලුම් සේවිකාවන් කරන දායකත්වයත් මේකෙන් නිරුපනය වෙනව.
     ඔවුන්ගේ සේවයට අපේ උත්තමාචාරය !

   
mp3 එක මෙතනින්  බාගන්න

              ජය වේවා !

08 September 2011

අපි වළි කුකුල්ලු වගේද ?

     20533126
                 අද මම ලියන්න යන්නේ තරමක් කණට නුපුරුදු ගීතයක් ගැන.මේ ගීතය තොර ගන්න හේතු කීපයක්ම තිබුණ.එකක් තමයි මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මය,තවත් විදියකින් කියනවනම් මගේ ප්‍රියතම ගීත රචකයා.අනෙක් ප්‍රධානම හේතුව තමයි මේ ගීතයේ පදමලාවේ තියෙන සරල බව ඇතුලේ වචනවලින් කියන්න බැරි මහා සමාජ ගැටළුවක් සාකච්ච කරල තියෙනව.ඒ කතාව කියන්න කලින් ගීතයේ පද මාලාව බලලම ඉන්නකෝ !

          වළි කුකුල්ලු ඇවිදින් …

වළි කුකුල්ලු ඇවිදින්
මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ළඟ
අල්ලන සවුදම්//


වී කරල් පුරා දහඩිය ඇත වැගිරෙන අන්දම්
වී කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
පිනි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අහුරමු මැණිකේ අත අහවර නම්.


වළි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගේ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපේ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මගුල් දාක නුඹලාටත් එන්න කියන්නම්.


වළි කුකුල්ලු ඇවිදින් ………..

හරි දන් කියන්නම් ගීතය ගැන.මේ ගීතය ලියන්න රත්න ශ්‍රී මහත්මයට පාදක වෙලා තියෙන්නේ බොහොම පොඩි අත්දැකීමක්.ඒ තමයි එතුමා උසස් පෙළ කරන්න ඉන්නකොට එතුමා මොණරාගල යාලුවෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව පාඩම් කරන්න.ඉතින් මේ දෙන්න පාඩම් කරල තියෙන්නෙ හේනක පැලක.ඉතින් රෑ බෝවෙනකොට හේන් වලට එන සතෙක් තමයි වළි කුකුළා.උන් රංචුවක් ඇවිත් විනාඩි පහක් යන්න කලින් මුළු හේනම ඉවරයිලු. මේ සිදුවීම වෙලා කාලෙකට පස්සේ රත්න ශ්‍රී මහත්මයට හිතිල තියෙනව වළි කුකුල්ලුත් හරියට අපි වගේ කියල.ඒ කිව්වේ අපි මාධ්‍යම පාන්තිකයෝනේ,අපි කරන්නේ උපයෝගිත රැකියා,ඒ කිව්වේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වෙන්නේ නෑ.එත් අපි සමාජයේ සැලකිය යුතු අවකාශයක් ගන්නව,හොඳට අඳිනවා ,උත්සව වලට සහභාගී වෙනව.වළි කුකුළත් ලස්සන සතෙක්නෙ,ඌ වගේම අපිත් කඩා වඩා ගන්නේ තව කෙනෙක්ගේ ශ්‍රමය.ඒ ශ්‍රමයෙන් තමයි අපි සමාජයේ වැජඹෙන්නේ.මේක තමයි ගීතයේ යටි අර්ථය.නමුත් රචකයා මේ ගීතයේදී අනාගතය ගැන උපකල්පනය කරල තමයි අන්තිම පද ටික ලියල තියෙන්නේ.රචකයා  දකිනවා මේ අසාධාරණ යුගයේ නිමාවක්.වැඩ කරන ජනයා රජ කරන යුගයක්.ඇත්තටම ගත්තොත් ඇති විශිෂ්ට පද රචනයක්.තමන්ගේ හඬ ගීතයට දායක කරලා මේ ගීතයට උපරිම සාධරණයක් කරලා තියෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මය
                         පොඩි දුකකට තියෙන්නේ අද රත්න ශ්‍රී මහත්මයලගේ ඒ විප්ලවකාරී අදහස් කොහෙද කියන එකයි.අද එතුමන්ලාගේ පෑනෙන් ලියවෙන්නේ තක්කඩින්ට ප්‍රශස්ති ගීත.කොහොමවුණත් ගීතයක් කියල කටපුරා කියන්න පුළුවන් ගීතයක්.අහලම බලන්නකෝ.
                            ජය වේවා!
ගීතය බාගතකරගන්නමෙතන කොටන්න්න.








           z_p20-We-are

02 September 2011

කලාකරුවාණෙනි!

                    මුලින්ම ලියන ලිපිය හොඳ ගීත රස විදින හැම දෙනාගේම රසවින්දනය වෙනුවෙන් ලියන්න මම හිතුව .මේ ගීතය වැඩිය ජනප්‍රිය ගීතයක් නෙමෙයි(මගේ දැනුමේ හැටියට).ගීතය තමයි සුනිල් එදිරිසිංහ මහත්මය ගායනා කරන කලාකරුවාණෙනි කියන ගීතය.
                    මේ ගීතය ලියල තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යයෙක් වන රජී වසන්ත වෙල්ගම කියන නවක කලාකරුවා.ඔහු නවකයෙක් වුණත් පළමු නිර්මාණයෙන්ම ප්‍රවීණයෙක් කියල ඔප්පු කරලා ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ.මේ වගේ නිර්මාණකරුවෝ දැක්කමනම් ගීත සාහිත්‍යයේ අනාගතය  එච්චර නරක නෑ කියල හිතෙනව.
                    ඇත්තටම මේ ගීය පුදලා තියෙන්නේ කලාකරුවන්ට.අවුකන පිළිමය ධාතුසේන රජතුමා විසින් කරවන ලදී කියල අපි අහල තියෙනව ,නමුත් අපේ ඉතිහාසයේ එතුමා ගල්වඩුවෙක් කියල සඳහන් වෙනවද කියනඑක ගැටළුවක්.එහෙනම් මේ නිර්මාණය කරපු කලාකරුවා කවුද?                                                                                              
                    ඇත්තම කියනවනම් ඔහු මුළු ලෝකෙටම හොරා මැරිලා යනව.මෙය අතීතයේ පමණක් නෙමෙයි අදටත් සත්‍ය සංසිද්ධියක්.මෙන්න මේ කතාකළ යුතු චරිතය ගැන කතාකරන්න තමයි රචකයා මේ ගීය රචනා කරලා තියෙන්නේ.එහිදී ඔහු භාවිත කරන සරල හාෂාව හා අතිශය සංවේදී සිද්ධීන් තෝරා තෝරා ගැනීම විශිෂ්ඨයි.
                    තව ගීතය ගැන කියන්න තිබුනත් ඒ කාර්යය කියවන සැමට භාරදෙන්නම්.
මෙන්න ගීතය ,රසවිඳීම ඔබ සතුයි.


මේ තරම් සියුමැලිද කළුගල්
හිතාගන්නත් බැරි නිසා,
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා //


කලා වැව ළඟ ඉළුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා,
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා //


ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා අසූ විට හිනැහුණා ඔහු
තවම තනිකකඩ යැයි කියා..//


මෙතරම් සියුමැලිද …….


ගීතය භාගත කරන්න මෙතැන කොටන්න.

ලිපිය හිතට අල්ලුවනම් follow පාරක් දාලම යන්න.