21 February 2012
නුඹ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන
නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන
නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන
කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..
25 January 2012
පමා වූ පෙම්වත!
අද ඔබගේ මංගල රාත්‍රියයි .සඳක් වැනි ඔබගේ මුහුණ කඳුළු සේලයෙන් වැසී ඇත.ජීවිතයේ වැදගත්ම රාත්‍රියේදී ඔබ කඳුළු සලයි .තාරුකා වැනි ඇස් කඳුළු වලින් තෙත් වී එහි කාන්තිය නැතිවී ගොසින්ය. රෝස පෙති වැනි කම්බුල් මතට කඳුළු බින්දු පතිත වේ.
අද මා ගෙවන කටුකම රාත්‍රියයි.ඔබ මා ළඟ නැත.තනිකමේ සීතලෙන් මා මුසපත්ව සිටිමි.මම දෙනෙත් පියාගෙන ඔබේ උණුසුමට ගුලි වෙමි.
** “මෙලොව සිටින කිසිදු පෙම්වතෙක්
දරාගත නොහැකි ශෝකයෙන්
කිසිදාක කඳුලක් නොහෙළ බැවින්
මටද ඇඬීමට නොහැක ..”
රෑ ඇඳේදී දකින සිහිනයක් නොවේ ජීවිතය.හෙට අළුත් දවසකි.අප දෙදෙනාම එයට මුහුණ දිය යුතුය.අද පටන් අප දෙන්නා දෙදෙනෙකි.
සියලු බාධක වලට අප අද පටන් තනියම මුහුණ දිය යුතුය.
ලෝකයට නොපෙනෙන පරිදි ඔබට හැඩීමට හැක්කේත් ,මට දුක් වීමට හැක්කේත් රාත්‍රියේදී පමණි. සඳ බැස යාමට ආසන්නය .රාත්‍රියද ගෙවී අවසන් වීමට ආසන්නය.ජීවිතය රාත්‍රියට වඩා දිගු එකකි. ඔබේ සිහිනයෙන් මට යන්න අවසර දෙන්න.
ඔබ මගේ සිතේ කොතැනක හෝ සදාකල්හිම රැදී සිටීවි.
අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකි.ඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!
** “ තියුණු විස කටු පොකුර
මත තබා මගේ දෙතොල
අවසාන වරට නුඹ සිප ගනිමි
හෙට ප්‍රභාතය පිණිස ….”
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
නින්ද නැති රැයේ...//
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...
නින්ද නැති රැයේ...//
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
** උපුටනය :- රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුභ උදැසන කාව්‍ය සංග්‍රහය.(44 වන පිට "පමා වූ පෙම්වත")
22 January 2012
නිවාඩු දවසක!
ඉරිදාට කොටුව තුල
විදේශික බසකින් හැසිරෙන
කරදිය මිශ්‍ර සුළඟ
තට්ටුව කැඩී ගිය
ගල් බංකුවක් ලඟට
ඇවිත් දණගාන
කෙට්ටු හීනයක මම ඔබට
අමිහිරිම කටහඩින් කීව
සංකීර්ණම පෙමක් ගැන
සරල ගීයක් කියන
තැඹිලි පැහැ සිවුරක්
ඈතින් පොඩියට යන එන
වෙරළ මත භාවනාවට
කමටහන් සොයා ඇවිදින
වැඩ ඇරී ගෙදර යන ඉර
අළුතෙන් පැහැ තැවරීය
අඳුරු වී ගිය සිවුරත
ගල් බංකුව උඩ
තරුකැට හතරකි
නිරුත්තර පැනයකට
විසදුම් සොයා වෙහෙසෙන
අඳුර වැටෙන තුරු කල්මරන
පනින්නට හිස් අහසට !
10 January 2012
කුණුහරුප නොවේ !
හරි ! මේකයි කරණය !
අපේ සමහර ගීතවල යටි අර්ථ ගැන තමයි අපි කතා කරේ.ඇත්තටම සමහරක් කතා නම් ඇත්තටම වටිනවා.එත් සමහර අදහස් නම් පිළිගන්න අමාරුයි(පිළිගන්න බෑ නෙමෙයි ).මම අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ සින්දු 2 ක් 3 ක් ගැන.
ඔයාල අහල ඇති එඩ්වඩ් ජයකොඩි මහත්මය ගයනා කරන “සිරි යහනේ ලණු ඉහීරී සුසුම් හෙලන රෑ…..”ගීතය.ඒ ගීතය ලියල තියෙන්නේ ලුෂන් බුලත්සිංහලයන්.ටිකක් ආන්දෝලනාත්මක ගීත ලියපු රචකයෙක්නේ. (දම් පාටින් ලා සඳ බැස යනවා….,කොළොම්තොට..වගේ ගීත )
හරි !මම කිව්වේ සිරි යහනේ... ගීතය ගැනනෙ!මට දැනගන්න ලැබුණු විදියට මේකෙන් කියවෙන්නේ තරුණවිය ඉක්මවපු තනිකඩ පිරිමියෙක් රාත්‍රියේදී (කියන්නත් ලැජ්ජයි
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ //
නාරිලතා මල් දැක්කම තාපසයන්ගේත් දැහැන් බිඳෙනවා කියල අහල ඇතිනෙ.
ඔන්න ඕක තමයි කතාව.බැලුවම ඒක එහෙම නොවෙන්නත් බැරි කමක් නෑ. එත් ලුෂන් බුලත්සිංහල මහත්මය කියල තිබුන පුවත්පතකට එකෙන් අදහස් වෙන්නෙ තනිකඩ පුද්ගලයෙක්ගේ කාන්සිය,පාළුව කියල.මටත් ඉතින් හිතෙන්නෙ එහෙමයි මුළු සින්දුවම ඇහුවම.(අර විදියට නොහිතෙනවා නෙමෙයි
මේ සින්දුව මුලින්ම අමරදේව මහත්මයටලු දීල තියෙන්නේ එත් සින්දුවේ යටි අර්ථය දැනගත්තම එතුමා සින්දුව ගායන කරන ඒක ප්‍රතික්ෂේප කරාලු.(මම නම් දන්නේ නෑ ,ඔය එක එක්කෙනා කියන්නේ)
දෙවැනි සිද්ධිය තමයි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගයන “ගහක මල් පිපිලා “ ගීතය.මේ ගීතය ලියල තියෙන්නේ යමුනා මාලනී පෙරේරා කියන ප්‍රවීන රචිකාව.දැන් කට්ටිය කියන විදියට ඕකෙන් කියවෙන්නේ සමලිංගික ප්‍රේමයක් ගැනලු.
සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකදු තරුවක් සිටිය නොහැකිද යම්
ලොවට නොපෙනෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් …..
මේ පේලි ටික විතරක් ගත්තම ඔය අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ(ඉරත් තරුවක්නේ).එත් පද රචිකාවියක් ඕක අදහස් කළා කියල මට නම් පිළිගන්න අමාරුයි.(අපේ රටේ).
අනිත් කතාව තමයි චාමර වීරසිංහ ගයනා කරන “තිස්ස වැවේ ඉවුර ලඟට…” ගීතය.මෙන්න මේකේ අන්තිම පද 4නුත් අදහස් වෙන්නේ අර “සිරියහනේ ලණු ඉහීරී “ ගීතයේ අදහසට සමාන අදහසක්ය කියල තමයි මට දැනගන්න ලැබුනෙ.
ගීතයේ අන්තිම පද 4 තමයි
……..ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
හිතේ මැවුණු සොඳුරු හැගුම් සොරොව් කටින් එපිට ගියා…
ඔය පද ටිකෙනුත් අර අදහස ඉස්මතු නොවෙනවා කියන්න බෑ වගේ .
එත් මුළු ගීතය ගත්තම ඒ අදහස ඉස්මතු වෙන්නේ නෑ(මාගේ තර්කයට අනුව).
විශේෂයෙන්ම කියන්න ඕන මේවා මාගේ යාලුවන්ගේ හෝ මාගේ පෞද්ගලික අදහස් නෙමෙයි.අපේ සමාජයේ තිබෙන මතවාද.නමුත් කව්රු මේ අදහස් ප්‍රකාශ කලත් ඒවා වැරදියි කියන්න පෞද්ගලිකව මට නම් අයිතියක් නෑ.මම මේ ලිපිය ලියන්නේ ඒ අදහස් ගරහන්න නෙමෙයි.මට ඒ අදහස් පිළිගන්න අමාරුයි කියන්න.නමුත් මේ වගේ සියුම් මොළ තියෙනවද කියල මට නම් වෙලාවකට හිතෙනවා ඔය වගේ අර්ථයන් ගීතයකින් මතුකරගන්න තරම්(අදහස වැරදි උණත් නිවැරදි උණත් ).කොහොම උණත් බුදු බණේත් කියල තියෙනවනේ තමන්ගේ සිහි නුවණින් කල්පනා කරලා බලල ඕනෑම දෙයක් පිළිගන්න කියල.අපිත් ඒ ආදර්ශය හිතට ගමු!
එහෙනම් තවත් පොස්ට් 1 කින් හම්බවෙමු !
ජය වේවා !
*දෝෂරෝපණයක් ඇත්තම් එයද පවසන ලෙස ඉල්ලා සිටිමි .
05 January 2012
දිරිය කත!
මෙන්න පද මාලාව ..
නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද.
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...
දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...
තබා දෙතොල ඉඳිකටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..
පද රචනය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ ,සංගීතය රෝහණ වීරසිංහයන්ගේ .ගීතය ගායනය කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය.
1978 විවෘත ආර්ථික පනතත් එක්ක අපේ රටේ ආරම්භ උණා නිදහස් වෙළඳ කලාප කියල ජාතියක්.මේවයේ ප්‍රධානම වෙළඳ භාණ්ඩය උනේ ඇඳුම්.කොටින්ම සුද්දන්ට ඇඳුම් මැසීම තමයි අරමුණ. මේවට ගම්බද තරුණියෝ සැහෙන්න පිරිසක් ඇදිල අවා.ඒත් ඔවුන්ගේ නොදැනුවත් කමෙන් ප්‍රයෝජන ගත්තු සමහර පිරිස් නිසා ඔවුන්ගේ සමාජ පිළිගැනීම නැති වෙලාම ගියා.ඔවුන් වෛශ්‍යාවන් ගානටම දාල කතා කරපු කාලයක් තිබුණ.
නොයෙක් අග හිඟ කම නිසා රැකියාවට එන මේ තරුණියෝත් බොහොම සංවේදී කාන්තාවන් .මුල් පද පේලි වලින් ඉස්මතු වෙන්නෙ ඒ දේ කියලයි මට හිතෙන්නේ.
ගම්බද මේ කාන්තාවෝ මුහුණ දෙන අපහසුතා ව්‍යංගාර්ථයෙන් දෙවැනි verse එකේදී මාර ලස්සනට කියල තියෙනව.ඉර හඳ දෙක කියල අදහස් කරන්න ඇත්තේ දෙමව්පියෝ .ඔවුන් දෙදෙනා මහළුයි කියල අදහස් වෙනව “දුඹුල් බැඳී" කියන කොටසෙන්.මේ දරුවන්ටත් නිසි අධ්‍යාපනයක් ලැබිල නෑ.ගෙදර ලිපේ ගින්දර ඇවිලෙන්නේ නෑ.ඇවිලෙන්නේ හිතේ ගින්දර විතරයි.
දුකක් තේරුම් ගන්න බැරි කෙනෙක් කාන්තාවක් වෙන්න පුළුවන්ද?ඉතින් මේ දුක තේරුම් අරගත්ත ඇය නියම කාන්තාව නොවේද??
මේකේ අන්තිම verse 1 දකිද්දී නම් මට මතක් වෙන්නේ බූන්දියේ කියවපු කවියක්! මෙතනින් යන්න එක බලන්න .
නූල් පටකින් ඇය ගෙදරක් ගොඩ ගන්න හැටි කොච්චර නම් සංවේදීද?මේකෙන් නිරුපනය වෙන්නේ එක පවුලක කතාවක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.අපේ රටේ ආර්ථිකයට ඇඟලුම් සේවිකාවන් කරන දායකත්වයත් මේකෙන් නිරුපනය වෙනව.
ඔවුන්ගේ සේවයට අපේ උත්තමාචාරය !
mp3 එක මෙතනින් බාගන්න
ජය වේවා !
24 November 2011
වැහි වලාකුළු !
හිතන්නටවත් පුළුවන්ද
නුඹ රැගෙන ගිය වගක්
පෙම් හසුනක් කුමරියකට
හමුවන දවසේ අප
දෙබැම හකුළුවාගෙන
කඩා පනින්නට බලා ඉන්නා
වෙරළ උද්‍යානයට !
පෙම් කරන්න නොලැබුණු දුකට
බලා ඉන්නවා වත්ද !
යන්තමට කඳුළු බිඳු සලමින
ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු
ඉකිගසා අඬන්නට.
ප්‍රේමයටත් ලන්සු වැටෙන
මේ දේශයෙන් ඉහලට යන
ජල වාෂ්පත් කුහකද
ඒ තරමටම ?
ලිංග විපර්යාස පමණක්
වෙනස් කළ නොහැකිය කියන
ව්‍යවස්ථාවේ තෙදට නුඹ නතුද
නවතන්න අවසර වැසිදිය
පනත් කෙටුම්පත් අනුවමද ?
ටිකක් නවතින්න වැහි වලාකුළ
දෙන්න අපහට මඳකට අවසර
අඳිමුද අඳිමුද ! රිදී පාට ඉර
කැපීපෙනෙන ලෙස නුඹේ ඇඟමත !
නොතේරෙන ජ්‍යාමිතිය!
ඉමක් නැති සයුර දෙස
ඔරවාගෙන බලා ඉන්නා
ඔබ
හා
මම
වියතක පරතරය බංකුව මත
සිත අතර අසූ කෙළක් යොදුන්
දරාගත නොහැකි බෑගිරියකි
“මහ මුහුද ,කට වහපන්!”
වෙනදා නම් මුල්ම හාදුවට
ඔල්වරසන්දෙන ජයගොස
එත්,කාට හාදු දෙන්නද අද ?
පය කොනිත්තා ඔට්ටුවට
ආපසු දුවන රළ පෙළ
“හිතක් නැ බං අද ,
දුවන්න ,උඹ අල්ලන්න !”
මේ වියත මොහොතකින් තව
පියමනීවී අනන්තයට
එතකොට,
කොහොම අඳින්න ද සරල රේඛාව
අපි දෙන්නා එකට යාකර?
15 September 2011
තුරු මුල !
08 September 2011
අපි වළි කුකුල්ලු වගේද ?
අද මම ලියන්න යන්නේ තරමක් කණට නුපුරුදු ගීතයක් ගැන.මේ ගීතය තොර ගන්න හේතු කීපයක්ම තිබුණ.එකක් තමයි මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මය,තවත් විදියකින් කියනවනම් මගේ ප්‍රියතම ගීත රචකයා.අනෙක් ප්‍රධානම හේතුව තමයි මේ ගීතයේ පදමලාවේ තියෙන සරල බව ඇතුලේ වචනවලින් කියන්න බැරි මහා සමාජ ගැටළුවක් සාකච්ච කරල තියෙනව.ඒ කතාව කියන්න කලින් ගීතයේ පද මාලාව බලලම ඉන්නකෝ !
වළි කුකුල්ලු ඇවිදින් …
වළි කුකුල්ලු ඇවිදින්
මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ළඟ
අල්ලන සවුදම්//
වී කරල් පුරා දහඩිය ඇත වැගිරෙන අන්දම්
වී කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
පිනි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අහුරමු මැණිකේ අත අහවර නම්.
වළි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගේ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපේ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මගුල් දාක නුඹලාටත් එන්න කියන්නම්.
වළි කුකුල්ලු ඇවිදින් ………..
හරි දන් කියන්නම් ගීතය ගැන.මේ ගීතය ලියන්න රත්න ශ්‍රී මහත්මයට පාදක වෙලා තියෙන්නේ බොහොම පොඩි අත්දැකීමක්.ඒ තමයි එතුමා උසස් පෙළ කරන්න ඉන්නකොට එතුමා මොණරාගල යාලුවෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව පාඩම් කරන්න.ඉතින් මේ දෙන්න පාඩම් කරල තියෙන්නෙ හේනක පැලක.ඉතින් රෑ බෝවෙනකොට හේන් වලට එන සතෙක් තමයි වළි කුකුළා.උන් රංචුවක් ඇවිත් විනාඩි පහක් යන්න කලින් මුළු හේනම ඉවරයිලු. මේ සිදුවීම වෙලා කාලෙකට පස්සේ රත්න ශ්‍රී මහත්මයට හිතිල තියෙනව වළි කුකුල්ලුත් හරියට අපි වගේ කියල.ඒ කිව්වේ අපි මාධ්‍යම පාන්තිකයෝනේ,අපි කරන්නේ උපයෝගිත රැකියා,ඒ කිව්වේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වෙන්නේ නෑ.එත් අපි සමාජයේ සැලකිය යුතු අවකාශයක් ගන්නව,හොඳට අඳිනවා ,උත්සව වලට සහභාගී වෙනව.වළි කුකුළත් ලස්සන සතෙක්නෙ,ඌ වගේම අපිත් කඩා වඩා ගන්නේ තව කෙනෙක්ගේ ශ්‍රමය.ඒ ශ්‍රමයෙන් තමයි අපි සමාජයේ වැජඹෙන්නේ.මේක තමයි ගීතයේ යටි අර්ථය.නමුත් රචකයා මේ ගීතයේදී අනාගතය ගැන උපකල්පනය කරල තමයි අන්තිම පද ටික ලියල තියෙන්නේ.රචකයා දකිනවා මේ අසාධාරණ යුගයේ නිමාවක්.වැඩ කරන ජනයා රජ කරන යුගයක්.ඇත්තටම ගත්තොත් ඇති විශිෂ්ට පද රචනයක්.තමන්ගේ හඬ ගීතයට දායක කරලා මේ ගීතයට උපරිම සාධරණයක් කරලා තියෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මය
පොඩි දුකකට තියෙන්නේ අද රත්න ශ්‍රී මහත්මයලගේ ඒ විප්ලවකාරී අදහස් කොහෙද කියන එකයි.අද එතුමන්ලාගේ පෑනෙන් ලියවෙන්නේ තක්කඩින්ට ප්‍රශස්ති ගීත.කොහොමවුණත් ගීතයක් කියල කටපුරා කියන්න පුළුවන් ගීතයක්.අහලම බලන්නකෝ.
ජය වේවා!
ගීතය බාගතකරගන්නමෙතන කොටන්න්න.
04 September 2011
ජංගම බණ!
පුවතක් –……….හිමිගේ බණ ඔබේ………….. දුරකථනයෙන් ශ්‍රවණය කරන්න .විනාඩියකට රු.3/= යි.
අවැසි නැත පින්වත
පන්සලට වඩින්නට
සොයාගත්තෙමි පාරක්
ලේසියෙන් නිවන් යන්නට
කොම්පැණියට රුපියලයි
මට දෙකයි
ඔක්කොම එකතු වී
විනාඩියට තුනයි.
මම කරමි සංගායනා
සල්ලි දී තොපි කරව් භාවනා
බුදු හිමිගේ බණ නැසෙනා
ලෝකයක මේවත් වසනා.
නිවා සිත සතන්
මෙත් වඩා සිතින් සුපහන්
ජංගම දුරකථනයෙන්
සාදු , කිය කිය දැකපිය නිවන්!












