26 September 2012
වන්දනාව!
සාහිත්‍ය මාසේ ගොඩක් දෙනා පොත් පත් එක්ක හිටපු බව බ්ලොග් පොස්ට් කියෙව්වම දැනුණ.හැමෝම පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සහ හොඳ පොත් මිතුරන් ගැන ලියල තිබුණ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න අපිත්(රැන්ගෝ සහ මම) ගියා.ප්‍රදර්ශනය පටන්ගත්තු දවසෙම.එතරම් සෙනග හිටියේ නම් නෑ එදා.අපි යනකොටත් සමහර පොත් සාප්පු වලට පොත් දානව.ඒත් පොත් තෝරා ගැනීමට අවශ්‍ය නිදහස නම් එදා තිබුණ.
ප්‍රදර්ශන ශාලාවට ඇතුල් වුණු අපි පොත් ගැනීම පටන් ගත්තේ කාව්‍යක්කාර මිතුරන් මගින් පවත්වපු පොත් එකතුවෙන්(කැටපත් පවුර ලංගම තිබුණ ප්‍රදර්ශන කුටිය).ගිය පාරත් ඒක තිබුනේ එතනමයි.හා හා පුරා කියල ගත්ත මුල්ම පොත උනේ 2010 වසරේ හොඳම කාව්‍ය කෘතිය විදියට රාජ්‍ය සම්මාන දිනාගත්තු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ හිරුත් හිම පියල්ලක කියන කාව්‍ය සංග්‍රහය
මහින්ද අයියත් ඒ ප්‍රදර්ශන කුටියේම හිටපු නිසා ඔහුගේ සමරුවෙන් ඒ පොතේ වටිනාකම වැඩි උනා.
එතනදීම අපිට මුණගැහුණා සඳුන් අයිය.11 වන පැය කාව්‍ය සංග්‍රහයේ ප්‍රධාන නියමුවෙක් කිව්වොත් හරි.ප්‍රදර්ශන භුමිය අපිට නුහුරු තැනක් බවට පත් නොකරන්න සඳුන් අයිය සහ පිරිස වග බලාගත්ත.සැහෙන්න පිරිසක් අඳුරගන්න ලැබුණා.අපි වැඩිම වෙලාවක් ගත කලේ සයුරි ප්‍රදර්ශන කුටියේවෙන්න ඇති.පොත් මිලදී ගැනීමටත් වඩා එතැනදී අඳුරගත්තු පිරිස වටිනවා කියන එකයි මගේ හැඟීම.
මහගමසේකරයන්ගේ කවි පොත් සියල්ලම කියවා තිබුණත් පොත් එකතුවක ඔහුගේ පොත් කීපය තිබිය යුතුමයි කියල හිතුන නිසා ඔහුගේ කවි පොහ ටිකත් ගත්ත.ඒ වගේම නන්දන වීරසිංහයන්ගේ සත්‍යකාම නම් වෙමි කියන ආඛ්‍යාන කාව්‍ය මම ගොඩක් කියවන්න ආසාවෙන් හිටපු පොතක්.ඒ වගේම ගිංගගේ විලාපය කියන පොතත් ගත්ත.
අපේ බ්ලොග්කරුවන් විසින් සංවිධානය කරපු සයිබර් සිහින උළෙල කට්ටියට මතක ඇති.එකේදී මට පොඩි තරඟ ජයග්‍රහණයක් ලැබිල හම්බු උන තෑග්ගෙන් මම වටිනා පොතක් ගත්ත.මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මම ගත්ත හොඳම පොත මේක කියල මට හිතෙනවා.මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද ඔහුගේ ස්වකීය අත්දැකීම් ඇතුලත් "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කියන කෘතිය මම මිලදී ගත්ත.
තවත් පොත් ගණනාවකට ඇහැ යොමු උණත් තාම පරපෝෂිත වන අපට සල්ලි තමයි ප්‍රශ්නේ.මොනවා කරන්නද කියල හිත හදාගෙන ආව.
මේ පාර වෙනස් තේමාවකින් පොත් ප්‍රදර්ශනය සංවිධානය කරලා තිබුණ බවක් පෙනුන.ගුරු ගෙදර වගේ සංකල්ප තුලින් පොත් ගන්න එන අයට සැහෙන්න සේවාවක් වුණා.
දෙවැනි වතාවටත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියත් ඒ නම් ගියේ පොත් ගන්න නෙමෙයි.ටිකක පරක්කු වෙලා ගියපු නිසා දයානන්ද අයියත්(අස්වැන්න) මඟ අරුනා.එදා නන්දන වීරසිංහයන්ගේ වටිනා දේශනයකට සවන් දීල පොත් එළිදැක්වීමේ උත්සවයකින් සංග්‍රහයකුත් බුක්ති විඳලම ආව!
මගේ නම් අදහස ප්‍රදර්ශන භුමිය තුල වටිනා වෙනස්කම් කරලා තිබුණට පාඨකයා මෙන්ම සුළු පරිමාණ පොත් ප්‍රකාශකයෝ ගැනත් හිතල තිබුණ මදි කියල.පොත් ප්‍රකාශන සමාගමෙන්ම ඒ පොතට දෙන්නේ 20% ක වට්ටමක්.ඒක 30%ක් වත් කරා නම් වටිනවා.අඩුම ගානේ දුර ඉඳන් එන අයගේ බස් ගාස්තු වලට වත් සරිලන විදියට.ඒ වගේම ප්‍රදර්ශන කුටි වල ගාණත් පහුගිය වර්ෂ වලට සාපේක්ෂව ඉතා වැඩි බවයි දැනගන්න ලැබුනේ.
කොහොම උණත් වඩා සංවිධානාත්මකව ඊළඟ වසරේ පොත් ප්‍රදර්ශනය පවත්වනන් කටයුතු කරනවානම් දුර බැහැර ඉඳන් පොත් ගන්න එන අයට වගේම සාහිත්‍යට ලැදි හැමදෙනාටම සේවයක් වේවි!
11 September 2012
11 වන පැය සහ මම!
බ්ලොග් කරුවන් අතරිනුත් අපි දන්නා අදුරන බොහෝ පිරිසකගේ කවි මෙයට ඇතුලත් අරුණැල්ල බ්ලොගය ලියන නජාත් සොයුරාගේ,අකීකරු හිත ලියන දිනිති අක්කගේ,ඉර ඇහැරෙන ඉසව්ව ලියන නෙරන්ජි සුලක්ඛනා අක්කගේ නිර්මාණත් මෙයට ඇතුලත්ව තිබුණා.
සාමුහික කවි පොතක් එළිදැක්වීම යන තේමාවෙන් එහාට ගිය පුළුල් අරමුණක් වටා 11 වෙනි පැය එක්රොක් වෙනවා.නවක පරපුරට භාෂා දැනුම ලබාදෙන භාෂා සාහිත්‍ය ඇකඩමියක් පවත්වන එක ඔවුන්ගේ මුලික අරමුණක්.ඇත්තටම එය කාලීන අවශ්‍යතාවක්.ඉතින් ඒ සත් ක්‍රියාව සඵල කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්න කියල අපි පතමු.
පොස්ටුව ලියන්න හිතුනේ මගේ නිර්මාණයකුත් 11 වන පැයේ ඇතුලත් උනා.මුද්‍රිත මාධ්‍යයක මගේ නිර්මාණයක් ඇතුලත් උන පළමු අවස්ථාව මේක නිසා ඒ ගැන පොස්ටුවක් දාන්න ඕන කියල හිතුනා.
දේවිකා
උඩ බොත්තම් දෙකම ඇරුන
හැට්ටය තුලින් වරින් වර
චතුරංගනී සේනාවකට
ජිවය පොවන්නට
අනෝතප්ත විල් පසුකර
දිය කෙළියට යන ගමනේ
මනරම් හිමිදිරි උදයේ
දහසක් බුදු, බුදු වෙනවා
දුටුවේ නැතිද දේවිකා?
තාර ශීට් කුඩ හෙවනට
නුඹේ මදහස අඩු නොවුණා
ඉටිකොළ අස්සෙන් ගෙට එන
පිණි බිඳු දැක
නුඹේ හීනය තෙත් නොවුණා
කැක්කුම් දෙන සීත සුළඟ
එක මිටකට අල්ලාගෙන
හැමදාමත් නුඹේ හීනය
දරුවන්ගේ මංගල්‍යය
හැමදාමත් නුඹේ හීනය
වැහි නැති හිස් අහසක් මත…
(212 වෙනි පිටුව)
14 June 2012
මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි!
මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත් පතට දේශප්‍රේමී කණ්ඩායමේ අයිකන් එකක් වන උදය ගම්මන්පිල උපාසක මහත්තයා ලිපියක් සපයා තිබුණි.හාමුදුරුවන් නැත්තම් ඔවුනුත් ගස් බව හොදාකාරවම දන්නා නිසා
ශ්‍රී ලංකාවේ වාසය කරන ග්‍රාමවාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලාගෙන් ග්‍රාමවාසී භික්ෂුන් ධර්මය ප්‍රචාරය කිරීමේ වගකීම භාර ගෙන ඇති බවත් එහිදී ලෞකික බැඳීම් වලට යටත් වීමට ස්වාමීන් වහන්සේලාට සිදුවන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.මේ අනුව හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා මහජන ඡන්දය අපේක්ෂා කරන්නේ ධර්මය ප්‍රචාරය කිරීමටය.පසුගිය වසර කීපයක සිට ඔවුන් ධර්මය ප්‍රචාරය කරන ආකාරය කව්රුත් දන්නා නිසා ඒ ගැන තවත් කතා කිරීම අනවශ්‍යය.
ඇමති මණ්ඩලයට අමතක කල නොහැකි චරිතයක් වන දුටුගැමුණු රජතුමාද ගම්මන්පිල මහතාගේ සිහියට නැගෙයි.දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයින්ගෙන් කෙනෙකු වන ථෙරපුත්තාභය යෝධයාද මහණදම් පිරු අයෙකු බවත් රටේ අවශ්‍යතාව අනුව ඔහු යුද්ධයට ගිය බවත් ඔහු කියයි.එය සැබෑවකි,නමුත් ථෙරපුත්තාභය යුද්ධයට ගියේ සිවුරට සමු දීමෙන් පසුවය,යුද්ධයෙන් අනතුරුව නැවතත් මහණ විය.හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලාටද එසේ කැක්කුමක් තිබුණ නම් පසුගිය යුද්ධ සමයේ සිවුරට සමු දී T-56 ක්ද රැගෙන යුද්ධයට යාමට තිබුණි,එසේ වුනි නම් කිසිම කෙනෙක් උන් වහන්සේලාට අපවාද නොනගනු ඇත,එමෙන්ම එසේ වුනි නම් උන් වහන්සේලා ථෙරපුත්තාභය මෙන් ඉතිහාසගත වීමට තිබුණි.
කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලාට මැති සබය නීමිතියෙන් තහනම් කල යුතුයි යන්න ඉතා කාලෝචිත යෝජනාවක් බවයි මගේ අදහස.
හවසට ගොස් තේකොල, සීනි ටික පන්සලෙන් අරන් එන උපාසක මහත්වරුන්ට හා ගම්මන්පිල මහත්මා වැනි හාමුදුරුවන් ලවා කොස් ඇට බාගන්නා අයට මිස සියලු දෙනා මේ යෝජනාවට කැමති වනු ඇත. විඳින්නට හැකි සියලුම කම්සැප විඳින අතරේ බෞද්ධාගම නමට මුවා වී එකිනෙකාගේ පිට කසාගන්නා මෙවැනි සංඝ-උපාසක කණ්ඩායම් රජකාලයේ මෙන් පැන්නිය යුතුය.කෙසේ වෙතත් මොවුන් බලයට ගෙන ආවොත් පන්සිල් පද 5 ද පනතක් මගින් ඉවත් කරනු ස්ථිරය.
පින්තුරය ගත්තේ මෙතනින් http://maathalan.blogspot.com/2010_05_01_archive.html
26 May 2012
වෙල්ලස්සේ කිරි අම්මලා!
ඌව වෙල්ලස්ස කියන්න අතීතයේ ඉදන්ම බොහොම සශ්‍රික පළාතක්.වෙල්ලස්ස කියන්නෙ වෙල් ලක්ෂයක් කියන පදයෙන් හැදුන කියල තමයි කියන්නෙ.එ වගේම ආගමික විස්වාස එහෙම ගොඩක් තියෙන පළාතක්.වෙල්ලස්ස පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ජනවහරේ කිරි අම්මල හත් දෙනෙක් ඉන්නව ඉඳිගොල්ලේ කිරිඅම්මා,උනාපානේ කිරිඅම්මා,කන්දේ කිරිඅම්මා,දිවැස් කිරිඅම්මා,වෙල්ලස්සේ කිරිඅම්මා,කුකුලාපොල කිරිඅම්මා,බිලි කිරිඅම්මා යන අය තමයි එ කිරි අම්මාවරු හත්දෙනා.මේ අතරින් වෙල්ලස්ස පළාතේ කුකුලාපොල කිරිඅම්ම කියල හදුන්වන්නේ කුවේණිව.
ඉංග්‍රීසි පාලන සමයේදී පැවතුනු පාලනක්‍රමයටවිරුද්ධව වෙල්ලස්සෙන් ලොකු කැරැල්ලක් ඇති උණා.එ කැරැල්ල බොහොම සාර්ථක විදියට ක්‍රියාත්මක උණත් අපේ රටේම ඉන්න කළු සුද්දන්ගේ පිහිටෙන් කැරැල්ල මර්ධනය කරන්න ඉංග්‍රීසින් සමත් උණා.ඉන් පස්සෙ වෙල්ලස්සේ ගම් විනාශ කරල,වැව අමුණු විනාශ කර විතරක් නෙමෙයි අවරුදු 18ට වැඩි සියලු පිරිමින් මරාදමන්න අණ කරා.ඒ උණත් වෙලස්සේ ඉතුරු වුන පිරිස හැංගිලා, පාවාදීම් වලට බයේ නම් ගම පවා වෙනස් කරගෙන ඔවුන්ගේ සංස්කෘතිය රැකගත්ත.
මේ අතරේ 1978 විවෘත ආර්ථික ක්‍රමයේ හදුන්ව දීමෙන් පස්සෙ 1982 වර්ෂයේදී ගොවීන්ගේ ඉඩම් බලෙන් පවරාගෙන මොණරාගල සීනි කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න බුකර්ටේට් කියන බ්‍රිතාන්‍ය සමාගමට රජය අවසර දුන්න.මේකට විරුද්ධවත් ගොවීන් නැගී හිටිය.එ ගැන කියවෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මය ගයනා කරන බිම්බරක් සෙනග ගැවසුන කියන ගීතය.
ජන වහරේ එන කුකුලාපොල කිරි අම්මා ගැන සම්බන්ධ කරගත්තත් මම අද කියන්න යන ගීතයේත් තියෙන්නෙ අර දේශපාලනික වටපිටාවම කියලයි මට හිතෙන්නෙ.ගීතය තමයි “කුකුලාපොල කිරි අම්මේ"කියන ගීතය.ගීතය ගයනා කරන්නෙත් ගුණදාස කපුගේ මහත්මය.එහි තනුව හැටියට යොදාගෙන තියෙන්නෙ වැදි ගීයක ආකෘතිය.මුලින්ම අහද්දී මටත් ටිකක් නීරස ගතියක් දැනුන.එත් පස්සෙ සින්දුව අහද්දී නම් එ ගතිය නැති වෙලා ගියා.
කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි
නිවැරැද්දේ අපට මෙහෙම පිටු පෑවේ ඇයි
කුකුළා පොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
සංහිඳ හෙවණේ වෑ තෙර බෝ රුක මුදුනේ
ගල් වැව් මණ්ඩියෙ නිතර නුඹ වැඩ උන්නේ
කොයි සිට බැලුවත් අම්මේ දුරට පෙනෙන්නේ
රන්කොත වැන්නේ නුඹ ගණ රන් කොත වැන්නේ
රුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ
ඉඳිකඩ අයිනේ සෙයිලම ළඟ ළඟ එන්නේ
තුන් යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ
කන්ද උඩින බැස්ස කලට පෙනේය උළු මාළිගාවබිම්බරකුත් සෙනග ඇවිත් රුවට කරපු මාළිගාවඋදේ හවා දිස්නේ දිදී රන්කොත් බබලන සොබාවලංකාවට තිලකයක්ය සබරගමුව මාළිගාව
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච නාදයෙන් ඇලලුණවෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි…
යකඩ ඇතුන්නේ බිරුසන් හඬ ගුගුරන්නේරුක් දෙවියන්නේ මුල් සිඳිලා වැතිරෙන්නේ…..
- චීන කමියුනිස්ට් නායක මාවෝ සේතුං වරක් කිව්වා සමහර පුද්ගලයන්ගේ මරණයන් අපිට දැනෙන්නේ කුරුළු පිහාටුවක් බිමට වැටෙනවා වගේ බොහම සැහැල්ලුවට කියල,එ වගේම සමහර පුද්ගලයන්ගේ මරණය මහා පර්වතයක් කඩාගෙන වැටෙනව වගේ දරාගන්න අමාරුයි.ඔබා මාමගේ මරණයත් එහෙමයි.අනපේක්ෂිත මොහොතක අපි අතරින් වියෝ වුන ඔබා මාමගේ මරණයෙන් අපි ගොඩක් දෙන සිහි එළවගත්තේ නෑ.අද උණත් මේ ලිපියට ඔහුගෙන් කමෙන්ට් 1ක් නොවටෙවී කියල මට හිතන්න අමාරුයි.එත් ඉතින් ජීවිතය කියන්නෙ ඕක තමයි.බුදු දහම කියන්නෙ කොච්චර යථාර්තවාදී දර්ශනයක් ද කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට,වෙන මොනම හරි චින්තනයක් මේ වගේ වෙලාවට ගලපන්න පුළුවන්ද කියන 1 මට ප්‍රශ්නයක්(අනිත්ආගම් පහත් කරල දැකීමේ පටු අරමුණක් නොවේ).කොහොම වුනත් ඔබා මාම අපි අතර තවමත් ජීවමානයි.
- කුකුලාපොල කිරි අම්මා ගීතය ගැන මාම අහල තිබුනත් එ ගීතය හොයාගන්න මාර කට්ටක් කෑවේ.නෙට් 1 නම් කොහෙවත් නෑ කියල 100% ක් ෂුවර්.ඉතින් මේ ගැන අස්වැන්න බ්ලොගය ලියන දයානන්ද රත්නායක අයියට කිව්වම එතුමා එ ගීතය විතරක් නෙමෙයි ගුණදාස කපුගේ මහත්මය ගායනා කරන අපි අහල නැති දුර්ලභ ගීත ගොන්නක් මට ලැබෙන්න සැලැස්සුව.එ විතරක් නෙමෙයි මේ ගීතයේ පද ටික ලියල දුන්නෙත් එතුමා.සමහරෙක්ට ඒක පොඩි වැඩක් වෙන්න පුළුවන්,එත් දයානන්ද අයියේ ඔබ වැන්නෙක් මට ගීතයක් සොයාදීම පිටිපස්සේ වචනයෙන් කියාගත නොහැකි මනුස්සකමක් තියෙනව.ඔබට අනේක වාරයක් පින්!
- අනිත් කාරණය තමයි මේ පාර උසස්පෙළ කරන නිසා මේ දවස්වල වැඩ වැඩියි.තව මාස 2යිනේ තියෙන්නෙ.එ නිසා ගොඩක් අයගේ බ්ලොග් බලන්න උනේ නෑ පහුගිය දවස් වල.ඒ ගැන අහිතක් හිතන්න එපා කියලත් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.
24 April 2012
සැබෑවක් වූ සිහින උළෙල!
බ්ලොග් අවකාශයේදී විතරක් හම්බු වෙන පිරිස දැක බලා ගන්න තිබුන පලවෙනි චාන්ස් 1ත් මිස් කරපු නිසා(ගාල්ලේ ගෙට් 1).සිහින උළෙලට නම් යනවමයි කියල හිටියේ.කලින් දවසේ රෑ බනි එක්ක චැට් කරල සෙට් වෙන විදිය අහගත්ත.පහු වෙනිදා උදේම ගාල්ලේදී අපි කස්ටිය කොළඹ යන්න සෙට් උණා.එතනින් මම කලින් අදුරන්නේ අරුණැල්ල බ්ලොග් 1 ලියන නජාත්,බනියා විතරයි ,තව වැහි පොදක් බ්ලොග් 1 ලියන කල්ප බ්ලොග් 1 හරහා දැනගෙන හිටිය.ජනරංග අයියත් ඉතින් බුකියේදී හා බ්ලොගේදී දැකල තිබුන.තව ගයාන් කල්හාර,රත්ගමයා,රුවින්ද්‍යා නංගි,චාමික අයියල කස්ටියත් හිටිය.වැඩි වෙලාවක් නොගිහින් ඒ සේරම එල කිරි වගේ ෆිට් උණා.
අපි කස්ටිය වැල්ලවත්තෙන් බහිද්දී 9.30 විතර වෙන්නැති.කස්ටියම හොර පාරකින්ම ග්‍රවුන්ඩ් 1ට ගියා.ජාතික ගීය කියල ,පොල්තෙල් පහන එහෙම පත්තු කරල වැඩ පටන් ගත්ත.මුල්ම තරගය උනේ මීටර් 100 දිවීම.හා හා පුරා කියල එකටත් සහභාගී උණා.යන්තම් ගේමක් දීල එකෙන් 3 වෙනියා උණා.ඊට පස්සෙ ගියා කණා මුට්ටිය බිඳින්න.මම නම් හිතුවේ අපිට චාන්ස් 1 එන්න කලින් කව්රුහරි බිදීවී කියල.නාකිය අයිය එහෙම පියවර මැනගෙන ගියත් ඇස් 2 බැන්දාම අපාය පෙනුන නිසා බය උනාලු.ඒ නිසා බිඳගන්න බැරි උණා.මට චාන්ස් 1 එද්දී මුට්ටි 2 යි ඉතිරි.කොහොම හරි කස්ටියගේ පිහිටෙන් මගේ දක්ෂතාවයෙන් මුට්ටිය බින්ද.
එතැනදී ජෙෂ්ඨ බ්ලොග් කරුවනුත් ,නවකයනුත් ඒක ලෙස විනෝද උණා.තරග වලට සහභාගී වුනා,කට්ටිය අදුරගත්ත,කෑවා,බිව්වා.ඉතින් ඒ හවස් වෙනකම්ම දැනුනෙවත් නෑ.ඇත්තටම සතුටුයි මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබුණු 1 ගැන.මගේ ජීවිතයේ අමතක නොවන දවසක් තමයි පෙරේද දවස.ඒ වගේම පොඩි දුකකුත් තියෙනවා හැමෝම එක්ක කතා කරන්න නොලැබුණු එක ගැන.එත් ඒ අඩුපාඩුව ලබන අව්රුද්දෙ සම්පූර්ණ කරගන්නවා.
ගෙදර එද්දිත් බස් 1 ෆුල්ම ෆන් 1ක් ගත්ත.ෆන් 1 වැඩි කමට තව පොඩ්ඩෙන් ගුටි කනවා මිනිස්සුන්ගෙන්.චාමික සහෝදරයා එහෙම බ්ලොග් 1 ගැන ප්‍රචාරනයකුත් දීගෙනම අවේ බස් 1 අයට.කොහොම උණත් ඒදවස ගැන නම් කියන්න වචන නෑ.ලබන අව්රුද්දෙත් මේ වගේම දවසක් එනකම් අසාවෙන් බලන ඉන්නව.ඒ වගේම මේ තරම් වෙහෙසක් දරල හැමෝටම සතුටු වෙන්න අවස්ථාවක් සලසල දුන්න සංවිධායක මණ්ඩලයට අපි හැමෝම හිස නමල ආචාර කරන්න ඕන.මේ වගේ දවසක් උදා කරල දීම සම්බන්දයෙන් හැම දෙනාටම ස්තුතියි.
| අදවත් කෑල්ලක් සෙට් වෙයිද?? |
![]() |
| බැලුන් පුපුරවන්නයි ලෙස්තිය |
![]() |
| මුට්ටිය කුඩු කිරීමෙන් පස්සෙ |
| මුට්ටිය බිඳලා තෑගිත් ලැබුණ |
![]() |
| කඹ ඇදලත් දිනුම් |
![]() |
| මුන්ගේ කට විතරයි වැඩ නෑ |
![]() |
| අන්ධ සෙල්ලම් |
![]() |
| ගාල්ලෙන් ගියපු අපේ සෙට් 1 |
03 April 2012
ධර්මපාල නම් පියෙකුගේ ප්‍රකාශය!
මේ වෙලාවෙ ධර්මපාල රජතුමා කොක් හඬ දාල හිනා වෙනව.ඔහු කියනව ඒක වෙන්න බෑ මොකද තමුන්ගේ පව්ලේ සියලු දෙනාම පන්සිල් රකින අය,ඔවුන් රට පාලනය කරන්නෙ දස රාජ ධර්මය අනුව.ඒ නිසා ඔවුන් සියල්ලන්ම නියමිත ආයු වළඳල තමයි මිය යන්නෙ කියල.මේ තමයි අපි දන්නා ධර්මපාල ජාතකය.
80 දශකයේදී තවත් පියෙක් තමන්ගේ පුතාව යවනවා ඉගෙන ගන්න.දළදා හාමුදුරුවන්ගේ අඩවියට,හන්තාන අඩවියට.මේ පිය රජතුමාත් බොහොම දැහැමිව තමුන්ගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන පියෙක්,මේ නිසා ඔහුත් අකල් මරණ ගැන දන්නෙ නෑ.නමුත් දවසක් තමන්ගේ පුතා ගෙදර එනව පෙට්ටියක,උඩුකුරුව සැතපිලා ,දෑත් බැඳගෙන.මේ වතාවේ මේ පියාට හිනා වෙන්න ඉඩක් නෑ.නමුත් ඔහුට පුදුමයි මේ දේ සිද්ධ උණේ කොහොමද කියල.නමුත් ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා.ඉතින් මේ අවනඩුව කාට කියන්නද??
මේ පියා එක් පියෙක් නෙමෙයි,80 දශකයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියළුම පියවරු නියෝජනය කරන පියෙක්.ඉතින් මේ අවනඩුව නීතියත් වල් වැදුන කාලයක වෙන කාගෙන් අහන්නද, දළදා හාමුදුරුවන්ගෙන් ඇර?
දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//
හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//
ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//
කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නෙ…
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…//
තව කාරණයක් කියන්න ඕන.අද දවස විශේෂ දවසක්.ගුණදාස කපුගේ මහත්මය අපි අතරින් වෙන් වෙලා ගිහින් තියෙන්න 2003 අද වගේ දවසක.ඒ වගේ ශ්‍රේෂ්ට කලාකරුවෙක් සිහිකරන්නත් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න හිතුනේ.ගුණදාස කපුගේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට,වැඩ කරන මිනිස්සුන්ට ගීත කියපු ගායකයෙක් කියල මේ ගීතයෙන් තවත් පැහැදිලි වෙනව.
ගීතය බාගන්න මෙතන කොටන්න
කපුගේ ගැන ලියවිච්ච සාර්ථක ලිපියක් අස්වැන්නේ තියෙනවා ඒක බලන්න මෙතනින් යන්න!
18 March 2012
දේශ ද්‍රෝහියා මා දෙස බලා සිටී!
ඇත්තම කියවනවානම් මේක මට කියවන්න ලැබුණු ආන්දෝලනාත්මක කවි පොතක්.පොතේ නම තමයි “මාතෘකාවක් නැති මාතෘ භුමිය හෙවත් දෙමළ කවි “.කතෘ තමයි මංජුල වෙඩිවර්ධන .
කලාකරුවෙක් කියන්නේ සිංහලයෙක්වත් දෙමළෙක් වත් නෙමෙයි ඔහු සංවේදී මනුෂ්‍යයෙක් කියන අදහස මේ පොත පුරාවටම විහිදෙනව.මේ පොත ලියල තියෙනේ ද්‍රවිඩ දෘෂ්ටියකින් කියල කිව්වොත් මම නිවැරදියි.යුධ ජයග්‍රහණයෙන් පස්සේ අපි ජයගොස නැගුවා මිස දෙමළ මිනිස්සුන්ගේ දුක මොකක්ද කියන එක අමතක කරලා දැම්ම.කොටින්ම ඔව්න් මිනිස්සු කියන දේත් අපි අමතක කරල.ජයග්‍රාහී මානසිකත්වයෙන් සියලුම ද්‍රවිඩ මිනිස්සු දිහා අප්‍රිය බැල්මක් හෙලන්න තරම් අපි කුහක වෙලා.ඇත්තටම කිව්වොත් හැම දෙමළ මිනිහෙක්ම කොටියෙක් කියල කියන තැනටම අපි පත්වෙලා.ඉතින් මේ වාතාවරණය ඇතුලේ යුද්ධයෙන් දිනුවේ කව්ද??මේ කතාව දෙමළ කවි පොත පුරාවටම විහිදිලා තියෙනව.
මෙන්න මේ මානසිකත්වය නිසාම සාමාන්‍ය ද්‍රවිඩ මිනිස්සු මුහුණ දුන්න අතිශය සංවේදී සිද්ධි ගොන්නක් මේ කවි වල නිමිති ලෙස දක්වල තියෙනව.
“මඩකලපුව සිත්තන්ඩියේ දිගිලිවෙෛඩ රජයේ පාසලේ පහ වසරේ ඉගෙනුම ලැබූ දැරියක්,සෙබළුන් තිදෙනෙකු විසින් දුෂණය කරන ලදී.ඊට විරෝධය පෑ ගම් වැසියෙකුගේ මළ සිරුර පසුදා එහි පොකුණක තිබී හමුවිය"
(44 පිට - සිත්තන්ඩි කඳුළු )
ත්‍රස්තවාදීන් විසින් සිදුකරන අපරාධ වලට වැරදි කරුවෝ නම් සියලු දෙමළ මිනිසුන්ද?ඔව්නට යුක්තියකට ඉඩක් නැද්ද?ඔවුන් මනුෂ්‍යයෝ නොවේද?
මේ කවි පුරාවටම ඇත්තේ ඔවුන්ගේ අසරණකම නොවේද?
මෙහි පසු ග්‍රන්ථයේ සඳහන් එක් කවියක් පෞද්ගලිකව මාව අතිශය සංවේදී කිරීමට සමත් උණා.
මම ලිඟුමාල වෙමි
සටහන - පොලිස් පාදඩයන් දස දෙනෙකු විසින් දුෂණය කරනු ලැබ අවසාන යෝනිය තුලට අත්බෝම්බයක් දමා පුපුරවාහැර අමානුෂිකලෙස මරා දැමු කොනේශ්වරී අම්පාරේ විසු තෙදරු මවකි.මෙම සිද්ධිය වුයේ 1996 ජුනි මාසයේදීය .එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිත වලට අද මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකය.
අතගසාගෙන නළලත
වෙසක් සඳ වැළපෙයි
ජනේලෙන් හොටු පෙරයි
ලඟපාත ගෙදරක තෙමගුල පිණිස නිම වූ
නෙලුම් මල් සත තවම පරවී නැත .
පන්සීය පනස් ජාතක එක්පතට සින්දා තැනු
නුතන වි-ජාතකයක විරිඳු සුරල් රාවය
විටින් විට තොරණකින්
ඈතින් ඇසේ.
මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
කවියක් පිණිස ඇහැරී බලා ඉන්නා
එකෙණෙහිම
පියඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියේ පතිතව
යෝනියක හැඩතල මවයි.
නිසැකවම ඒ කොනේශ්වරීගේ විය යුතුය.
අම්පාර සිට කොළඹට
පියඹා එන්නට
මේ හැටි කාලයක්?
ඒ තරම් අපි ඈතය
දෑස කඳුලින් සීතය.
කඳුළු අතරින් මම
අංගුලිමාල නොව ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනවැසිය ඕනෑ පුරුෂ නිමිතිය.
බතින් වමතින්ගත් මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත් තියුණු සැතකින් යුතුවද
නික්මෙමි.
මග දිගට හමුවන ගෙයින් ගෙට සන් කොට
සෑම සිංහල ලිඟුවම කපා හුයකින් අමුණමි
අවසානයේ මගෙත්
ආහ්…..
වේදනා දරා ගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.
නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කල හැක.
සහෝදර සිත් නැති ,හැගුම් නැති
ජාතියක් කුමටද?
මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි
ඒ මත ලේ පැල්ලමකි
එය කවියකි
එත් එය දෙමලෙනි
සිහළුනට නොතේරෙන්නේ එබැවිනි!
වරද සිහළුන්ගේද, දෙමළුන්ගේද මම නොදනිමි.නමුත් කොහේ හෝ වරදක් ඇත.එය තවම නිවැරදි වී නැත.සුපිරි පැලැන්තියේ ජීවත් වන දෙමළුන් හැර අනෙක් සියළුම දෙමළුන් අපිට බොහෝ ඈතය.සත්‍යය එය යැයි මට සිතේ.
අවසාන වශයෙන් මේ සම්බන්දව සංවේදී වන අතලොස්සක් සිංහලයන්ද දේශද්‍රෝහීන් කර ඇති බව පොතේ පසුවදනින් පිළිබිඹු වේ
“සිංහලයන්ගේ කොදෙව්වේ ,අනෙකාටද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සෑම විටම සමාන යැයි කියූ වරදට දේශ හිතෙයිශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටී”
ඉන්දික උඩුගම්පොළ-පසුවදන
ප.ළි- පොත ගැන විස්තර කිව්වේ නෑනේ
පොත සූර්ය ප්‍රකාශනයක් මිල රු.200යි.
අරුණැල්ල බ්ලොගය ලියන අපේ නජාත් සහෝදරයාගේ නිර්මාණයට ලයික් 1 ක් දාගෙනම යන්න!
21 February 2012
නුඹ
පැණිරස අපුලව කෙල ගසන
කටුක තිත්ත දිවග තබන
පිපාසයට කඳුළුම බොන
නිදි නොලබා අහසට එන
තරු එළියෙන් පාර කියන
සඳක් වෙන්න ඉඩ ඇතිමුත්
තරුවක් වී පිපී වැනෙන
නෙක හැඩයට පාට ගෑව
රසම සුවඳ සුළඟට දෙන
පිපී දිලෙන මල් අතරේ
පරමල් වල සුවඳ බලන
කවදාවත් සැබෑ නොවෙන
නිදිවර්ජිත හීන වලට
ඇඟිල්ලකින් පාට උලන
ළගට ඇවිත් මා සනසන…..
25 January 2012
පමා වූ පෙම්වත!
අද ඔබගේ මංගල රාත්‍රියයි .සඳක් වැනි ඔබගේ මුහුණ කඳුළු සේලයෙන් වැසී ඇත.ජීවිතයේ වැදගත්ම රාත්‍රියේදී ඔබ කඳුළු සලයි .තාරුකා වැනි ඇස් කඳුළු වලින් තෙත් වී එහි කාන්තිය නැතිවී ගොසින්ය. රෝස පෙති වැනි කම්බුල් මතට කඳුළු බින්දු පතිත වේ.
අද මා ගෙවන කටුකම රාත්‍රියයි.ඔබ මා ළඟ නැත.තනිකමේ සීතලෙන් මා මුසපත්ව සිටිමි.මම දෙනෙත් පියාගෙන ඔබේ උණුසුමට ගුලි වෙමි.
** “මෙලොව සිටින කිසිදු පෙම්වතෙක්
දරාගත නොහැකි ශෝකයෙන්
කිසිදාක කඳුලක් නොහෙළ බැවින්
මටද ඇඬීමට නොහැක ..”
රෑ ඇඳේදී දකින සිහිනයක් නොවේ ජීවිතය.හෙට අළුත් දවසකි.අප දෙදෙනාම එයට මුහුණ දිය යුතුය.අද පටන් අප දෙන්නා දෙදෙනෙකි.
සියලු බාධක වලට අප අද පටන් තනියම මුහුණ දිය යුතුය.
ලෝකයට නොපෙනෙන පරිදි ඔබට හැඩීමට හැක්කේත් ,මට දුක් වීමට හැක්කේත් රාත්‍රියේදී පමණි. සඳ බැස යාමට ආසන්නය .රාත්‍රියද ගෙවී අවසන් වීමට ආසන්නය.ජීවිතය රාත්‍රියට වඩා දිගු එකකි. ඔබේ සිහිනයෙන් මට යන්න අවසර දෙන්න.
ඔබ මගේ සිතේ කොතැනක හෝ සදාකල්හිම රැදී සිටීවි.
අපගේ ප්‍රේම වෘක්ෂයේ ඉතිරිව මලක් නැත,තිබුණු එකම මලද වෙනකෙක් සතුය.ඇත්තේ කටු පමණකි.ඒ මල සිහිකරගෙන මම ඉතිරිව ඇති කටු සිප ගනිමි!
** “ තියුණු විස කටු පොකුර
මත තබා මගේ දෙතොල
අවසාන වරට නුඹ සිප ගනිමි
හෙට ප්‍රභාතය පිණිස ….”
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
නින්ද නැති රැයේ...//
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...
නින්ද නැති රැයේ...//
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
** උපුටනය :- රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුභ උදැසන කාව්‍ය සංග්‍රහය.(44 වන පිට "පමා වූ පෙම්වත")
22 January 2012
නිවාඩු දවසක!
ඉරිදාට කොටුව තුල
විදේශික බසකින් හැසිරෙන
කරදිය මිශ්‍ර සුළඟ
තට්ටුව කැඩී ගිය
ගල් බංකුවක් ලඟට
ඇවිත් දණගාන
කෙට්ටු හීනයක මම ඔබට
අමිහිරිම කටහඩින් කීව
සංකීර්ණම පෙමක් ගැන
සරල ගීයක් කියන
තැඹිලි පැහැ සිවුරක්
ඈතින් පොඩියට යන එන
වෙරළ මත භාවනාවට
කමටහන් සොයා ඇවිදින
වැඩ ඇරී ගෙදර යන ඉර
අළුතෙන් පැහැ තැවරීය
අඳුරු වී ගිය සිවුරත
ගල් බංකුව උඩ
තරුකැට හතරකි
නිරුත්තර පැනයකට
විසදුම් සොයා වෙහෙසෙන
අඳුර වැටෙන තුරු කල්මරන
පනින්නට හිස් අහසට !





















